Pages

මුද්දර ලෝලියෙකුගේ අන්තර්ජාල සටහන …

අතිශයින්ම මුද්දර ලෝලීන් සඳහා පමණයි !

Thursday, January 20, 2011

මුද්දර ඒවාට හානි නොවන අයුරින් ලියුම් කවරවලින් ගලවා ගන්නේ කෙසේද ?


Image : Universal Postal Union (UPU)


තමන්ගේ මුද්දර එකතුව වර්ධනය කර ගැනීම සඳහා මුද්දර සපයා ගත හැකි විවිධ ක්‍රම පිළිබඳව මීට පෙර ලිපියෙහි මා සඳහන් කළා ඔබට මතක ඇති.... මුදල් වියදම් නොකර වගේම, යම් මුදලක් වියදම් කිරීමෙනුත් මෙසේ මුද්දර සපයා ගත හැකි ක්‍රම පිළිබඳව මා එහිදි කතාබහට ලක් කළා... ඇතැම් විට මෙසේ ඔබ මිලදී ගන්නා මුද්දර නම් කෙළින්ම ඔබේ සුරැකුම් පොතට ඇතුළත් කර ගත හැකි ආකාරයෙන් (Off Paper) පවතිනවා.... එහෙත් මෙසේ ඔබ මිලදී ගන්නා වගේම ඔබ විසින් සපයා ගන්නා ඇතැම් මුද්දර, (On Paper Stamps) ඔබේ සුරැකුම් පොතට ඇතුළත් කර ගැනීමට පෙර ඊට සුදුසු තත්වයට පත් කර ගත යුතු වෙනවා...

ඒ ගැන කතා කිරීමට මත්තෙන් පුංචි මතක් කිරීමක් කරන්නට කැමතියි... තැපැල් කටයුතු සඳහා භාවිතා කරන ලද මුද්දර, ඒවා අලවා ඇති ලියුම් කවර වලින් ගලවා ගැනීමේදී බෙහෙවින් ප්‍රවේශම් විය යුතුයි.... ඇතැම් අය කිසිදු වග විභාගයකින් තොරව ලියුම් කවරයේ තිබියදීම මුද්දරය ගලවා ගන්නට උත්සහ දරනවා... මෙය කිසි සේත් නොකළ යුතු දෙයක්.... මෙසේ ලියුම් කවරයෙන් මුද්දරය ඇද ඉවත් කර ගැනීමට යාමෙන් මුද්දරය, අප පෙර ලිපියේදී සඳහන් කළ ආකාරයට ඔබේ මුද්දර එකතුව අහළකටවත් ගැනීමට නුසුදුසු තත්වයට පත් වෙනවා.... කොටින්ම කිව්වොත් මෙසේ කිරීමෙන් මුද්දරයට දැඩි ලෙස හානි සිදු විය හැකියි.... සෑම විටම ලියුම් කවරයකින් මුද්දරය වෙන් කර ගත යුත්තේ, මුද්දරය වටා ඇති කඩදාසියත් සමඟ එය කපා ඉවත් කර ගැනීමෙන්...


මේවා On Paper Stamps කියා හඳුන්වනවා....

එසේම යම් වැදගත්කමක් සහිත, විශේෂිත මුද්‍රාවකින් අවලංගු කරන ලද කවර හමුවුවහොත් ඒවා ඒ අයුරින්ම නොකපා තබා ගන්නට ප්‍රවේශම් වන්න... මන්ද යත් එවැනි විශේෂිත මුද්‍රා එහි අලවා ඇති මුද්දරයට වඩා වැඩි වැදගත් කමක් උසුලන බැවිනි... විශේෂයෙන් ඔබ, නෑ හිත මිතුරන් මාර්ගයෙන් මුද්දර එකතු කර ගන්නවා නම් මේ ගැන ඔවුන් දැනුවත් කර තබන්න... නැත්නම් ඔවුන් විසින් අවසානයේ ඔබ වෙත එවන්නේ ඉවත ලෑමට සිදු වන ආකාරයේ මුද්දර වීමට බෙහෙවින් ඉඩ ඇත...

මෙම අලවා ඇති කඩදාසි කොටස් සමඟින් ඇති මුද්දර, කෙළින්ම ඔබේ මුද්දර එකතුවට එක් කර ගත නොහැකියි... ඒ සඳහා මෙම කඩදාසි කොටස් ඉවත් කර මුද්දරය ඊට සුදානම් කර ගත යුතු වෙනවා.... මෙසේ කඩදාසියෙන් මුද්දරය වෙන් කර ගැනීම සඳහා භාවිතා කළ හැකි "දියර වර්ග" වෙළඳපොළෙන් මිලදී ගත හැකියි....


එහෙත් ඒතරම් දුර නොයා ඉතා සරලව මේ කටයුත්ත කර ගත හැකියි.. ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ වතුර පිරවු භාජනයක් සහ වතුර උරා ගන්නා කඩදාසි කිහිපයක් (පෙරහන් කඩදාසි) පමණයි...

ඔබ මුද්දර සමඟ කටයුතු කරන හැම අවස්ථාවකම විශේෂයෙන් සිහි තබා ගත යතු කරුණ නම්, නිතරම ඔබේ දෑත් පිරිසිදුව තබා ගැනීමට අමතක නොකිරීමයි !

මෙසේ කඩදාසි පිටින් කපා ගත් මුද්දර, ප්‍රමාණවත් තරම් ජලය පුරවා ගත් භාජනයකට දමා කඩදාසි පෙඟෙන්නට ප්‍රමාණවත් තරම් කාලයක් ඒ තුළ තිබෙන්නට හරින්න...


එවිට මුද්දරවල පසුපස ඇති මැලියම් දිය වී මුද්දර පහසුවෙන් කඩදාසි වලින් ඉවත් වෙයි... මෙම කටයුත්ත ද ඉතා ඉවසීමෙන් කළ යතු අතර ආයාසයෙන් මුද්දර කඩදාසි කැබලි වලින් වෙන් කර ගැනීමට උත්සාහ නොකළ යුතුය... යම් මුද්දරයක් මෙසේ පහසුවෙන් කඩදාසි කැබලි වලින් ඉවත් නොවේ නම් ඒවා ආයාසයෙන් වෙන් කිරීමට උත්සහ නොගෙන තවත් කාලයක් ජලයේ පෙඟෙන්නට හැරීමෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකි වනු ඇත... එසේම ඇතැම් ඝනකම් කඩදාසිවල අලවා ඇති මුද්දර ගලවා ගැනීමට නම් මදක් උණුසම් ජලය පාවිච්චි කිරීමට සිදුවනු ඇත... විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව ආදී රටවලින් මෑතක සිට හඳුන්වා දී ඇති “ඇලෙන සුළු මුද්දර” (Self Adhesive Stamps) ඒවා අලවා ඇති කඩදාසිවලින් වෙන් කර ගැනීමට යාමේදි ඇල් ජලය වෙනුවට මදක් උණුසුම් ජලය පාවිච්චියෙන් හොඳ ප්‍රතිඵල නෙලා ගත හැකි බව මට අත්දැකීමෙන්ම පසක් කර ගත හැකි විය... මෙසේ ජලයේ පොඟවා මුද්දර වෙන් කර ගැනීමේදී මතක තබා ගත යුතු අනෙක් කරුණ නම්, පාට කඩදාසි මත ඇති මුද්දර සෙසු මුද්දර සමඟ මුසු නොකිරීමට වග බලා ගැනීමයි... විශේෂයෙන් නත්තල වැනි විශේෂ උත්සව අවස්ථා වෙනුවෙන් ලැබෙන විවිධ වර්ණයෙන් යුතු (වැඩිමනත්ම රතු පැහැයෙන් යුතු) ලිපිකවර මත ඇති මුද්දර මෙසේ අනෙක් මුද්දර හා මුසු කර ජලයේ පෙඟෙන්නට ඉඩ හැරීමෙන් කඩදාසියේ ඇති වර්ණ ජලයේ දියවී අනෙකුත් මුද්දරවලටත් පැතිරීම නිසා එම මුද්දර සියල්ලම ඉවත ලෑමට සිදු වනු ඇත... වරෙක, මටත් මේ අමිහිරි අත්දැකීම විඳගන්නට සිදු වුයේ සුලු නොසැලකිලිමත් කමක් නිසාවෙනි...

මුද්දර පහසුවෙන් කඩදාසි කැබලිවලින් වෙන් කර ගත් පසු ඒවා ජල භාජනයේ තිබියදීම, ඇඟිලි තුඩු වලින් මුද්දරවල පසුපස සෙමෙන් පිරිමදිමින් ඒවායේ රැඳී ඇති අමතර මැලියම් පවා ඉවත් කර ගැනීමට කල්පනාකාරී වන්න.... මෙසේ සම්පූර්ණයෙන්ම මැලියම් ඉවත් වී ඇති බවට සෑහීමකට පත්විය හැකි වූ පසු එම මුද්දර, වතුර උරාගන්නා කඩදාසි මත මුණින් අතට (මැලියම් තිබුණු පැත්ත උඩු අතට සිටිනසේ) නවා මද පවනේ වේලා ගත යුතු ය.... මෙලෙස මද පවනේ මුද්දර වේලාගත් පසුව, ඒ මත තවත් එවැනිම ජලය උරා ගන්නා කඩදාසියක් අතුරා ඒ මත තරමක බරක් (පැරණි දුරකථන නාමාවලි මේ සඳහා කදිමය) තබන්න... මෙසේ දවසක් පමණ තිබෙන්නට හැරීමෙන්, ඔබේ මුද්දර එකතුවට එක් කර ගැනීමට සුදුසු ආකාරයේ, ඉතා පැතලි - පිරිසිදු මුද්දර ලබා ගත හැකි වනු ඇත... දැන් මේ මුද්දර, ඔබේ “මුද්දර සුරැකුම් පොතේ” (Stamp Album) ඊට හිමි තැන රඳවන තුරු තෙල් කඩදාසිවලින් සකස් කර ගත් කවර වල බහා ආරක්ෂිතව තැබිය හැකි ය... එසේත් නැතිනම් පහසුවෙන් සපයාගත හැකි “මුද්දර රැඳවුම් පොතක්” (Stock Book) තුළ රඳවා තැබීම වඩාත් සුදුසු ය... ඝන කාඩ්බෝඩ් පිටු මැදින් හරහට යෙදු විනිවිද පෙනෙන තෙල් කඩදාසි හෝ සෙලෝෆේන් තීරූ තුළ මුද්දර පහසුවෙන් රඳවා තැබිය හැකි වීම මෙහි ඇති වාසියයි...



එසේම ඔබේ මුද්දර සුරැකුම් පොතේ, මුද්දර රැඳවිය යුතු සැලැස්ම ගැන අත්හදා බලන්නටද මෙම රැඳවුම් පොත් කදිමය.... එහෙත් ලංකාවේ ඉතා සුලබව විකිණිම සඳහා තබා ඇති බාල වර්ගයේ මුද්දර රැඳවූම් පොත් මිලට ගැනීම ඔබේ මුදල් මෙන්ම මුද්දර එකතුවද විනාශ කර ගැනිමකි... මේවායේ රඳවන මුද්දර ටික කලක් යත්දි පුස්(Fungus) බැඳී විනාශ වන අයුරු මා අත්දැකීමෙන්ම දැක තිබේ....

* ජලයේ පොඟවා මුද්දර ගලවා ගන්නා ආකාරය දැක්වෙන මේ අපූරු දසුන් පෙළ ඔබට බෙහෙවින් වැදගත් වෙනවා නොඅනුමානයි.



* ඇලෙන සුළු මුද්දර (Self-Adhesive Stamps), මුද්දර ඉවත් කිරීමට යොදා ගන්නා දියර යොදාගනිමින් කඩදාසිවලින් ඉවත් කර ගන්නා අන්දම දැක්වෙන දසුන් පෙළක් පහත සබැඳය ඔස්සේ නැරඹිය හැකියි.

How do I remove self-adhesive stamps from envelopes?


2011 ජූනි 04 වැනිදා - ලිපිය යාවත්කාලීන කිරීමයි -


* දැනට ලංකාවේ භාවිතාවන තැඹිලි-දූඹුරු පැහැයට හුරු ලියුම් කවර වල අලවා ඇති මුද්දර එම කවර වලින් ඉවත් කර ගැනිමේදී, මුද්දර සහිත කවර කොටස් වැඩි වේලාවක් ජල බඳුන තුළ පෙඟෙන්නට හැරීමෙන් වළකින්න. මන්ද යත් මේ ලිපි කවර වැඩි වේලාවක් ජලයේ පෙඟෙන්නට තැබූ විට එහි ඇති තැඹිලි පැහැය මුද්දරවලට කාන්දු වී මුද්දර එකතු කිරීමට නුසුදුසු තත්වයට පත් වන බැවිනි.


සෙසු සේයාරූ eBay වෙතින් සහ අන්තර්ජාලයෙනි.

ආශ්‍රීත ග්‍රන්ථ
මුද්දර ලෝකයට පිවිසෙමු - මුද්දර කාර්යාංශයේ ප්‍රකාශනයකි
STAMP COLLECTING : HOW TO START - STANLEY GIBBONS


>>> Coming Up Next >>>
විනෝදාංශයට අත දෙන - පත පොත...

Monday, January 17, 2011

හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගැනීම


Image : Universal Postal Union (UPU)


සුගිය ලිපියෙන් මා සාකච්ඡා කළේ හොඳ මුද්දර එකතුවක් ගොඩනගා ගැනීම සඳහා සපුරා ගත යුතු අවශ්‍යතා කිහිපයක් ගැනයි... එහිදි මතක තබා ගැනීමේ පහසුව සඳහා එම කාරණා කිහිපය මුද්දර ලෝලීන් වන අප ඉතා ආදරය කරන, “මුද්දරය” හැඳින්වීමට යෙදෙන ඉංග්‍රීසි යෙදුම වන “STAMP” යන්නට කැටි කොට දැක්වූවා, ඔබට මතක ඇති.... එහිදි මා එම කරුණු සවිස්තරාත්මකව හඳුන්වා දෙන්නට උත්සාහ කළේ නැහැ... මට අවශ්‍ය වූයේ එම කරුණු ඉතා කෙටියෙන් හඳුන්වා දී ඒවා පහසුවෙන් මතක තබා ගන්නට ඔබට මඟ පෙන්වීමටයි... මෙම ලිපියෙන් හා ඉදිරි ලිපිවලින් මා උත්සාහ කරන්නේ එම කරුණු ගැන සවිස්තරාත්මක විග්‍රහයක යෙදෙන්නටයි...

මගේ පෙර ලිපියේ මා නිතර සඳහන් කළ යෙදුමක් තමා “හොඳ මුද්දර එකතුවක්” කියන එක.... මුලින්ම ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත් හොඳ යැයි මට සිතුණා... මුද්දර එකතුවක්, “හොඳ” මුද්දර එකතුවක් වීමට නම් එම මුද්දර එකතුව, එකතු කිරීමට නුසුදුසු මුද්දරවලින් තොර විය යුතුයි... මුද්දරයක් එකතු කිරීමට නුසුදුසු මුද්දරයක් වශයෙන් හඳුන්වා දිය හැකි අවස්ථා මොනවාද යන්න අපි මීළඟට සලකා බලමු... මෙහිදී මා විමසා බලන්නේ තැපැල් කටයුතු සඳහා භාවිතා කරන ලද මුද්දර (Used Stamps) පිළිබඳවයි... තැපැල් කන්තෝරුවේ මුද්දර කවුළුවෙන් නිකුත් කරන පාවිච්චි නොකරන ලද තත්ත්වයේ මුද්දර(Mint)එකතු කිරීමට තරම් මේ විනෝදාංශයේ යෙදෙන අප බොහෝ දෙනෙකුට හැකියාවක් නොමැති බව නොරහසක්... විසි කිරීමට මුදල් හදල් යහමින් ඇත්නම් පාවිච්චි නොකරන ලද තත්ත්වයේ මුද්දර එකතු කිරිම හොඳ අනාගත ආයෝජනයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්...


  1. සෑම විටම ඔබ එකතු කළ යුත්තේ ඉතා පිරිසිදු තත්වයේ පවතින මුද්දරයි... කිලිටි වී අපිරිසිදු තත්වයේ පවතින මුද්දර(ඒවා සොයාගැනීම කෙතරම් අසීරු වුවද)වැටෙන්නේ එකතු කිරීමට නුසුදුසු ගනයටයි... එසේම එවැනි මුද්දර ඔබේ මුද්දර එකතුවට අලංකාරයක් වෙනුවට ගෙන එන්නේ අශෝභන බවකි... එහෙයින් එවැනි කිලිටි මුද්දර එකතු කිරීමෙන් වළකින්න..
  2. ඉරුණු, විදමන් හෙවත් දැති කැඩුණු, හිල් වුණු, පතුරු ගැලවුණු, පෘෂ්ඨයේ තුනීවීම් සහිත මෙන්ම මතුපිට හෝ පසුපස සීරීම් සලකුණු සහිත මුද්දරද එකතු කිරීමට නුසුදුසු මුද්දර වේ... ඒවා ඔබේ මුද්දර එකතුව අහළකටවත් නොගැනීමට සැලකිලිමත් වන්න‍....
  3. ඔබ එකතු කරන්නේ තැපැල් කටයුතු සඳහා භාවිත කළ මුද්දර නම් ඉතා අශෝභන ලෙස අවලංගු කීරිමේ දින මුද්‍රා වැදුණු මුද්දරද ඔබේ මුද්දර එකතුවට එකතු කර ගැනීමෙන් වළකින්න... එසේම රූප හඳුනාගැනීමට අපහසුවන ආකාරයෙන්, ඉතා තදින් දින මුද්‍රා වැදී ඇත්නම් එවැනි මුද්දරද ඉවතලෑමට සිදු වේ.
  4. තැලුණු, පොඩිවුණු හෝ නැමුම් දාර සහිත මුද්දර ද ඔබේ එකතුවට එක් කර ගැනීමට තරම් සුදුසු ඒවා නොවේ...


ඉහත සඳහන් කළ ආකාරයේ මුද්දර ඔබේ මුද්දර එකතුව තුළත් සැඟවී තිබෙනවා නම් අද ම ඒවා ඉවත් කිරීමට පියවර ගන්න... එමගින් ඔබේ මුද්දර එකතුවත්, ඉතා පියකරු - ඉතා වටිනා - හොඳ මුද්දර එකතුවක් බවට පත් කර ගන්න... ඇතැම් විට සොයාගැනීමට ඇති අපහසුව නිසා හෝ දුලබ බව නිසා හෝ ඉවත ලෑමට ඇති ලෝභ කමින්, ඉහත සඳහන් කළ ආකාරයේ මුද්දර ඔබ සන්තකයේ තබාගෙන සිටිනවා විය හැකිය. එහෙත් හොඳ මුද්දර එකතුවක් ගොඩනගා ගැනීමට ඔබත් කැමැත්තෙන් සිටිනවා නම් අකමැත්තෙන් වුවත් ඒවාට ආයුබෝවන් කියන්නට ඔබට සිදුවෙනු ඇත...

ඔබ මෙම විනෝදාංශයට තවමත් ආධුනිකයෙක් නම් පළමුව ඔබ විසින් එකතු කරන්නේ කුමන ආකාරයේ මුද්දරදැයි තීරණයකට ඒමට සිදුවනු ඇත.. ලොව පුරා රටවල් රැසකින් (සාමානයයෙන් රටවල් 200 කින් පමණ) වසරකට දහස් ගණනක් මුද්දර නිකුත් කිරීමට කටයුතු කරන බැවින් අනාදිමත් කාලයක සිට පැවති මුද්දර එකතු කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය වන, රටවල් අනුව මුද්දර එකතු කිරීමේ ක්‍රමය පරයමින් දැන් ඉදිරියට පැමිණ ඇත්තේ විවිධ තේමා අනුව මුද්දර එකතු කිරීමේ ක්‍රමය යි. එය රටවල් අනුව මුද්දර එකතු කිරීමට සාපේක්ෂව බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ, අද වන විට ලෝකයේ විවිධ රටවල් මෙසේ විවිධ තේමා අනුව මුද්දර නිකුත් කිරීමට උත්සුක වී ඇති නිසයි... වන සතුන්, ජනප්‍රිය පුද්ගලයින්, ක්‍රීඩා, විසිතුරු මල්, තාරකා විද්‍යාව සම්බන්ධිත මුද්දර, යාන වාහන, ජලජ ජීවින් යනාදි මුලික තේමා රැසක් හා ඊට අදාළ අනු තේමා යටතේ මෙසේ මුද්දර එකතු කරනු ලබනවා... උදාහරණයක් ලෙස ඔබ මූලික තේමාව ලෙස වන ජීවීන් යන්න තෝරා ගත්තා යැයි සිතමු.. දැන් මේ යටතේ අලි ඇතුන්, පක්ෂීන්, උභය ජිවීන් වැනි විවිධ අනු තේමා යොදාගනිමින් ඔබේ මුද්දර එකතුව සකස් කර ගත හැකියි... විවිධ රටවලින් මෙවැනි තේමා යටතේ නිකුත් කරනු ලබන මුද්දර එකම තැනකට ගෙන ආ හැකි වීම මෙහි විශේෂත්වයයි...

මා පෞද්ගලිකව ප්‍රියතාවයක් දක්වන්නේ ද මෙම තේමා අනුව මුද්දර එකතු කිරීමේ ක්‍රමයටයි... එහෙත් මගේ මව් බිමේ මුද්දර එකතුවක් ගොඩ නගා ගැනීමටත් මට නම් ඇත්තේ නොනිත් ආසාවක් !


ඔබට.... ?

ආශ්‍රීත ග්‍රන්ථ
මුද්දර ලෝකයට පිවිසෙමු - මුද්දර කාර්යාංශයේ ප්‍රකාශනයකි
STAMP COLLECTING : HOW TO START - STANLEY GIBBONS



>>> Coming Up Next >>>
මුද්දර ඒවාට හානි නොවන අයුරින් ලියුම් කවරවලින් ගලවා ගන්නේ කොහොමද ?
විනෝදාංශයට අත දෙන - පත පොත...

Tuesday, January 4, 2011

මුද්දරය | Stamp


Image : Universal Postal Union (UPU)


"මුද්දරය|Stamp" යන වදන ඇතමෙකුට ඒ තරම් හැඟීමක් ඇති කරන එකක් නොවන බවට සැකයක් නැහැ.
ඒත් මුද්දර ලෝලියෙකුට නම් මුද්දරයක් යනු අමිල වස්තුවක් !
දැනුම, විනෝදය මෙන්ම සතුට ගෙනෙන උල්පතක් !
මෙවැනි මුද්දර එකින් එක එකතු වෙලා ගොඩ නැඟෙන මුද්දර එකතුවක් කියන්නේ සිතට අමුතුම ආකාරයේ නිරාමිස සුවයක් එක් කරන අපූරූ වත්කමක් !

ඉතින් කොහොමද හොඳ මුද්දර එකතුවක් ගොඩ නඟා ගන්නේ ?

ඉඳින් මා මෙලෙස සුදානම් වෙන්නේ හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගන්නට ඔබට අත්වැලක් වෙන්නයි...

හොඳ මුද්දර එකතුවක් ගොඩ නඟා ගන්න නම් අපට කරුණු කිහිපයක් සම්පූර්ණ කරගැනීමට සිදු වෙනවා. මේ කරුණු ටික මතක තියා ගන්න පහසු වෙන්නත් එක්ක එක වචනයකට ගොනු කර ගන්නත් පුළුවන්... ඒ වචනය තමා STAMP කියන එක. හොඳයි එහෙමනම් පොඩ්ඩක් උත්සාහ කරල බලන්න මේ කරුණු ටික ඔයාලටත් මතක තියා ගන්න පුළුවන් ද කියල...

මුද්දරය එහෙම නැත්නම් STAMP කියන වචනය හැදෙන පළවෙනි අකුර අරගනිමු. මොකක්ද මේ අකුරට ගොනු කරල තියෙන කරුණ.... මුද්දර එකතුවක් ගොඩනඟා ගැනීමට අපේක්ෂා කරනවා නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේ මොනව ද ?
ඔය S අකුර ගැන හිත යොමු කරල බලන්න.... ඔබ හිතුවා හරි...

S >>> Stamps


හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගන්නෙ කොහොමද මුද්දර නැතිව... හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගන්නට නම් අනිවාර්යයෙන්ම අපට හැකි උපරිමයෙන් මුද්දර රැස් කරගන්නට සිදු වෙනවා... ඉතින් කොහොමද මුද්දර හොයා ගන්නේ... මොන වගේ මුද්දරද අපේ එකතුවට එක් කර ගන්න ඕනෑ කියන කාරණය මම පසුව වෙනම ලිපියකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.



දෙවැනි අකුර තමා T. මොකක්ද මින් කියැවෙන්නේ.... Time කියන එක ද ? එක අතකින් බැලුවහම මුද්දර විනෝදාංශය සඳහා අපට කාලය අවශ්‍ය වෙන බව ඇත්තයි. ඒත් මේ අකුරට ගොනු කරල තියෙන්නෙ වෙනත් කරුණක්.

T >>> Tools 



හොඳ මුද්දර එකතුවක් ගොඩ නඟා ගන්නට අවශ්‍ය නම් අපට, මුද්දර එකතු කිරීමේදි Tools නැත්නම් උපකරණ කිහිපයක් ම භාවිතා කරන්නට සිදුවෙනවා.

  • මුද්දර අඬුවක්  - Stamp tongs | Stamp Tweezers 
  • විශාලන කාචයක් - Magnifying Glass
සාමාන්‍ය / ආධුනික මුද්දර එකතු කරන්නෙක් සඳහා නම් ඔය උපකරණ ද්විත්වය වුවත් ප්‍රමාණවත්. නමුත් තරමක් පරිණත මුද්දර එකතු කරන්නෙක් සඳහා නම්  ඔතැනින් මදක් ඔබ්බට ගිය තවත් උපකරණ කිහිපයක් අවශ්‍ය වනු ඇති. 
  • විදමන් ආමානයක් - Perforation Gauge
  • වර්ණ දර්ශකයක් - Stamp Colour Key / Colour Guide
  • දියසළකුණු දර්ශකයක් - Watermark Detector  
මීට අමතරව අප ජීවත් වන ඩිජිටල් යුගයට සරිලන අන්දමට මුද්දර පිළිබඳ සටහන් තබා ගැනීමට හෝ මුද්දර කළමනාකරණය පහසු කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් ම නිපැයුණු පරිගණක මෘදුකාංග (Stamp Management Software) හෝ ස්මාර්ට් ජංගම දුරකථන සඳහා වන යෙදවුම් (Smart Phone Application)  ද ‍මේ යටතට වැටෙනවා.  







ඊළඟ අකුර තමා A... මොකක්ද මෙයින් කියැවෙන්නේ.... අපහසුවකින් තොරවම ඒ ගැන ඉඟියක් පළ කරන්නට ඔබටත් හැකි වනවාට සැකයක් නැත..

A >>> Album



[Adaptable වෙළඳ නාමය යටතේ එන Lose-leaf වර්ගයේ මුද්දර සුරැකුම් පොතක් ]


ඔබ විසින් විවිධ ක්‍රම ඔස්සේ එක් රැස් කර ගන්නා මුද්දර, ක්‍රමවත්ව සුරැකිව තබා ගන්නට නම් ඒ සඳහාම විශේෂයෙන් සැකසු මුද්දර සුරැකුම් පොතක් අවශ්‍ය වෙනවා... අද වන විට විවිධ ආකාරයේ මුද්දර සුරැකුම් පොත් වෙළඳපොළ ආක්‍රමණය කොට තිබෙනවා. ගම් පතුරු හෙවත් මුද්දර රඳවන ආධාරයෙන් මුද්දර රඳවා තබන මුද්දර පොත් (මේවායේ ප්‍රස්ථාර කොළවල මෙන් කුඩා කොටු අවපැහැයෙන් මුද්‍රණය කර තිබෙනු දැක ගත හැකිය) මෙන්ම අවශ්‍ය පරිදි අවශ්‍ය ප්‍රමාණයට පත්‍රිකා එකතු කර ගත හැකි loose leaf වර්ගයේ ඇල්බමයන් ද ඒ අතර තියෙනවා. මේවායින් තමන්ට ගැලපෙන මුද්දර පොතක් තෝරා ගැනීමට ඔබ කල්පනාකාරී විය යුතුයි.. ලංකාව තුළ මුද්දර සුරැකුම් පොත් (Stamp Album) කියා විකුණන බොහොමයක් ඒවා සැබවින්ම මුද්දර සුරැකුම් පොත් නොව මුද්දර රැඳවුම් (Stock Book) පොත් බව පසුගිය දිනවල ඒ පිළිබඳව විශේෂයෙන් සොයා බලද්දි මට දැක ගන්නට ලැබුණි. ඝන කාඩ්බෝඩ් පිටු මැදින් හරහට යෙදු විනිවිද පෙනෙන තෙල් කඩදාසි හෝ සෙලෝෆේන් තීරූ තුළ මුද්දර පහසුවෙන් රඳවා තැබිය හැකි මෙම Stock Book වඩා සුදුසු වන්නේ මුද්දර විශේෂඥයන් හා මුද්දර වෙළෙඳුන්ටයි. එසේම සුරැකුම් පොතක මුද්දරයට නියමිත ස්ථානය ලබා දෙන තුරු එම මුද්දර රඳවා තබන්නටත් මේවා කදිම ය. විවිධ මුද්දර ඇල්බම පිළිබඳවත් ඒවායේ වාසිදායක තත්වයන් සහ අවාසිදායක තත්වයන් ගැන පසුව සවිස්තරාත්මකව සාක්ච්ඡා කෙරෙනු ඇත...



හතරවැනි අකුර M ය. නිසැකවම M වලින් අදහස් වන්නේ මුදල් යැයි ඔබට සිතෙන්නට පුළුවන. එක් අතකින් එසේ සිතීමේ වරදක් නැත. හොඳ මුද්දර එකතු කරන්නෙකු වීමට නම් ඔබට යම් පමණකට මුදල් වියදම් කරන්නට සිදුවීම වැළැක්විය නොහැකි ය. විශේෂයෙන් ම මුද්දර, මුද්දර ආහ්‍රිත ද්‍රව්‍ය මෙන්ම මුද්දර එකතු කිරීමේදි අවශ්‍ය වන ආම්පන්න මිලදී ගැනිමට මුදල් අවශ්‍ය වනු ඇත. එහෙත් මෙහිදි M යන්නෙන් අදහස් වන්නේ Money නොව අනෙකකි.

M >>> Mounts and Hingers


මෙයින් අදහස් වන්නේ මුද්දර රඳවා තබන තීරු රැඳවුම් හා ගම් පතුරු ය. මෙසේ තීරු රැඳවුම් තුළ මුද්දර තැන්පත් කොට තැබීම දැනට වසර කිහිපයක සිට ජනප්‍රියව පවතින්නේ, මෙම රාමුව තුළ මුද්දර හොඳින් ආරක්ෂා වී පැවතීමත් කලු පැහැති පසුබිම නිසා මුද්දර වඩා හොඳින් කැපි පෙනීමත් නිසාය. රැඳවුම් රාමුවේ මතුපිට විනිවිද පෙනෙන තුනී පොලියෙස්ටර් පටලයකින් සමන්විත වන අතර පසුපස තීරුව කළු පැහැ පොලියෙස්ටර් තීරුවකින් සමන්විතය.


[මුද්දර ඇතුල් කළ යුතු ආකාරය අනුව මෙන්ම පසුබිම් වර්ණය කළු හෝ අවර්ණ වශයෙන් ද Mounts වර්ග කිහිපයකින් ලබා ගත හැකිය.]


[විවිධ වෙළඳනාම යටතේ එන ගම්පතුරු]


ගම් පතුරු නැතිනම් මුද්දර රඳවන (Hingers) මගින් මුද්දර සුරැකුම් පොතේ රඳවා තැබීම අනාදිමත් කාලයක සිටි මුද්දර එකතු කරන්නන් අතර ජනප්‍රියව පැවති ක්‍රමයයි. මෙහිදී මුද්දර රැඳවීම සඳහා භාවිතා කෙරෙන්නෙ එක් පසෙක වියළි මැලියම් තට්ටුවක් ආලේප කර ඇති කුඩා දිගැටි හැඩයේ තෙල් කඩදාසිවලින් සකසා ගත් පතුරු වර්ගයකි.



අවසාන අකුර වන්නේ P ය. මින් අදහස් කරනුයේ මුද්දර පිළිබඳ තොරතුරු ඇතුලත් පත පොත යනාදිය ය.

P >>> Publications


[එක්සත් ජනපදයේ පළවන Scott මුද්දර නාමාවලිය, මහා බ්‍රිතාන්‍යෙයේ පළවන Stanley Gibbons මුද්දර නාමාවලිය සහ Stanley Gibbons ප්‍රකාශනයක්]

මුද්දර පිළිබඳ අනගි තොරතුරු ලබාදෙන මුද්දර නාමාවලි (Stamp Catalog), වාර සඟරා මෙන්ම විවිධ පත පොත ද මේ යටතට ගැනේ. මුද්දර ගැන හොඳ දැනුමක් නොමැතිව හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගත නොහැකිය. එබැවින් මෙවැනි මුද්දර ආශ්‍රිත ප්‍රකාශන පරිහරණයට පුරුදු පුහුණු වීම ද හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගැනීම සඳහා අතිශයන් ම වැදගත් වේ.

දැනට මේ කරුණු ටික සිහියේ තබා ගැනීම ප්‍රමාණවත්... ඉදිරියේදී අපි ඒ ගැන වැඩි දුරටත් සාකච්ඡා කරමු..

Sunday, January 2, 2011

ඕවා අපිට කැප නෑ !!!

Image: Francesco Marino / FreeDigitalPhotos.net

මෑත දිනක මගේ මිතුරන් කිහිපදෙනෙකු සමඟ කතාබහක යෙදී ඉන්නා නිදහස් මොහොතක හදිසියෙන් මෙන් සිහිපත් වූ යමක් ඔවුන් වෙතින් විමසුවෙමි.

“මචං උඹල ගාව නැද්ද මුද්දර …???”

“මුද්දර...???”
පිළිතුරක් වෙනුවට ලැබුණේ ප්‍රශ්නාර්ථයකි.

“හෑහ්.. උඹ තාම මුද්දර එකතු කරනවාද ? ෂික් ලැජ්ජ නැද්ද බං... පොඩි එකෙක් වගේ මුද්දර එකතු කරන්න...??”
මගේ එක් මිත්‍රයෙක් මදෙස බලා අවඥාසහගතව සිනහසෙයි.

මම මොහොතක් ඔහු දෙස බලා සිටියෙමි. ඔහුගේ නොදැනුවත්කම ගැන සිතා සිනහසෙනවාද නැත්නම් අවඥාව ඉදිරියේ කේන්ති ගන්නවාදැයි මට සිතාගත නොහැකි විය. එහෙත් තවත් එතැන රැඳී සිටින්නට අපහසු බවක් දැනුනෙන් හිඳ හුන් තැනින් නැගී සිටියෙමි. මොකුත්ම නොකියා ඉවතට යන්නට සිත් නොදුන්නෙන් යන්නට ගිය ගමන නවතා මගේ මිතුරා දෙසට හැරී මෙසේ පැවසුවෙමි.

“Machan, Stamp collecting is a hobby of Kings and The King of all hobbies. It's not only for children.”

ඉන් පසු ඔවුන් මොනවා පැවසුවාදැයි මා නොදන්නේ තවත් එතැන නොසිට ඉවතට ගිය බැවිනි. එදා ම'සිතේ හට ගත්තේ සියුම් කලකිරීමකි. පුංචි ලංකාව තුළ ලොව අග්‍රගණ්‍ය විනෝදාංශය වෙත ඇති මෙවැනි ආකල්ප ගැන සිහිවන හැමවිටම මුවඟින් සුසුමක් ගිලිහෙන්නේ නිරායාසයෙනි.

මට හදිසියේම සිහිපත් වූයේ කලකට ඉහත එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වූ කුමර කුමරියෝ වැඩසටහනකි. ඊට සහභාගී වීම සඳහා ඉතා දුර බැහැර ප්‍රදේශ වල සිට පවා තරුණ තරුණියන් පැමිණෙන බව පෙනෙන්නට තිබිණ. එම වැඩසටහන අතර තුර නම ගම හැරෙන්නට නිතරම වාගේ විමසන පැනයක් වූයේ “ඔබේ විනෝදාංශ මොනවාද ?” යන්නයි. අසන්නට ලැබුණු පිළිතුරු අතර වැඩිපුරම වාගේ අසන්නට ලැබුණේ “මුද්දර එකතු කිරීම” යන පිළිතුරයි. වෙනකක් තබා පාසල් යන වයසේ දරු දැරියන්ගෙන් වුවත් ඔබේ විනෝදාංශ මොනවාදැයි විමසුවහොත් මුලටම ලැබෙන පිළිතුර මුද්දර එකතු කිරිම යන්නයි. එහෙත් මෙලෙස පිළිතුරු දෙන සැවොම සැබෑ ලෙසම මුද්දර එකතු කරනවාදැයි විමසා බැලීම වටී. කොහෙන් හෝ හොයාගත් කොටු රූල් පොතක් පිරෙන්නට පාප්ප හෝ ගම් ගෑ මුද්දර, බුරුතු පිටින් අලවා එයට මුද්දර පොත යැයි කියන අපි හැබෑවටම මුද්දර එකතු කිරීම ගැන දන්නේ මොනවාද ? මේ සම්බන්ධයෙන් සමාජය ප්‍රමාණවත් පරිදි දැනුවත් ව සිටිනවාද ? මේ පුංචි රටේ සැබෑවටම මුද්දර එකතු කිරීම ගැන උනන්දුවක් දක්වන්නෙකුට ප්‍රමාණවත් පරිදි පහසුකම් ලැබෙනවාද ? මේවා පිළිතුරු නැති ප්‍රශ්න සමූහයක් පමණකි.

පාසැල් වියේදී මුද්දර සමාජ කිහිපයකම සාමාජිකයෙකුව සිට ලත් අත්දැකීම් අනුසාරයෙන් සකසා ගත් හින්ජ(ර්)ස් (Stamp Hingers) මගින් මුද්දර රඳවා තබන වීරෝදාර මුද්දර සුරුකුම් පොතක් තවමත් මා වෙත ඉතිරිව තිබේ. හිතෙන හිතෙන හැටියට වියදම් කර මුද්දර පොත් රැගෙන දෙන්නට මගේ පියාට වත්කමක් නොවුණු ඒ කාලයේ ඒ එකම මුද්දර පොත මට මහානර්ඝ වස්තුවක්ම විය. පසු ගිය දිනෙක පොත් ලාච්චුවක් අවුස්සද්දි ඉතා සුරැකිව තබා තිබුණු ඒ අනර්ඝ වස්තුව නැවතත් මගේ දෑතට පත් විය. කාලයේ වැලි තලාවට යට වී තිබුණු මුද්දරවලට බැඳි ආදරය නැවතත් පණ ලබන්නට විය. තවත් එවැනි මුද්දර සුරැකුම් පොත් කිහිපයක් මිලට ගැනීමේ අදහසින් දින කිහිපයකට පෙර පොත් සාප්පු කිහිපයකම කරක් ගැසුවෙමි. අවාසනාවක මහත. ඒ හැම එකකම මුද්දර සුරැකුම් පොත් (Stamp Albums) කියා විකුණන්නට ඇත්තේ මුද්දර රැඳවුම් පොත් (Stamp Stock Books)ය. පළපුරුදු මුද්දර එකතු කරන්නන්ට අවශ්‍ය කරන අනෙකුත් ආම්පන්න වන මුද්දර අඬු (Stamp Tweezers/Tongs), මුද්දර රඳවන (Hingers), තීරූ රඳවන(Mounts), විශාලක කාච (Magnifiers & Loupes), විදමන් ආමානය (Perforation Gauge), වර්ණ දර්ශකය (Colour Guide), දියසලකුණු දර්ශකය (Watermark Detectors), පාරජම්බුල පහන් (Ultraviolet Lamps) ආදීය සොයාගන්නට ඇති අපහසුව ගැන කියනුම කවරේද? මුද්දර අඬුවක් සොයා ගන්නට බැරිම තැන එය eBay හරහා ගෙන්වා ගන්නට මට සිදු විය. eBay හරහා සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගත හැකි වුවද දරන්නට සිදුවන තැපැල් ගාස්තුව ගැන සිතීමේදි එය එතරම් වටින්නේ නැත. අනෙක් අතට බොහෝ eBay වෙළෙඳුන් මේ පුංචි රටට භාණ්ඩ එවන්නේද නැත. මට අවශ්‍ය මුද්දර සුරැකුම් පොත් ගැන eBay හරහා සෝදිසි කර බැලුවෙමි. මිල සාධාරණ වුවද ගෙවන්නට සිදුවන තැපැල් ගාස්තුව දුටු විට ඊට ඇති ආශාව අත්හැර ගතිමි. තැපැල් ගාස්තුව භාණ්ඩයේ මිල මෙන් තුන් ගුණයකට ආසන්නය. වෙනත් රටවල මුද්දර එකතු කරන්නන්ට නම් වැඩි අපහසුවකින් තොරවම අවශ්‍ය ආම්පන්න මෙන්ම විවිධාකාරයේ මුද්දර සුරැකුම් පොත් වර්ග ද ලබා ගැනීමේ වරම හිමි වී තිබේ. එනයින් ගත් කළ ශ්‍රී ලාංකික මුද්දර එකතු කරන්නන්ගේ තත්වය සැබවින්ම කණගාටුදායක ය.

අහම්බයෙන් වාගේ මට, ශ්‍රී ලංකා තැපැලෙහි (Sri Lanka Post) වෙබ් අඩවියට පිවිසෙන්නට ලැබුණේ මෙසේ මුද්දර සුරැකුම් පොත් ගැන සොයමින් අන්තර්ජාලය තුල සැරිසරමින් ඉන්නා අතරතුර ය. එමඟින් යොමුවුණු සබැඳියකින්, ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශයේ (Philatelic Bureau) අඩවියට පිවිසුණෙමි. ඔවුන්ගේ නිෂ්පාදිත ලැයිස්තුවෙහි මුද්දර සුරැකුම් පොත් ගැනද සඳහන් වූ බැවින් කෙසේ හෝ එහි යාමට ඉටා ගත්තෙමි. එහිදි දැන ගත් තවත් දෙයක් නිසා මගේ උද්යෝගය තවත් වැඩි විය. ජාතික තැපැල් කෞතුකාගාරය ද පිහිටා ඇත්තේ ඊට යාබදව ය.

දින 10 යේ වාර්ෂික නිවාඩුව ලබාගෙන මුද්දර කෞතුකාගාරය පැත්තේත් යායුතුයැයි සිතාගෙන සිටියෙමි. අවසානයේ කාර්යබහුල දවස් අහවර වෙන තුරු බලා සිටියේ පොඩි එකෙකු මෙන් ඇඟිලි ගනිමිනි. නිවාඩුව අනුමත විය. අන්තිමේ ගිය සිකුරාදා ශ්‍රී ලංකා තැපැල් මූලස්ථානය වෙත ගියේ කෞතුකාගාරයද නරඹා මුද්දර කාර්යාංශයට ගොස් මුද්දර සුරැකුම් පොතක් මිලට ගැනීමේ බලාපොරොත්තුවෙනි.

නවීන ගෘහ අලංකරණ ආදියෙන් සමන්විත ශ්‍රී ලංකා තැපෑලේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල තට්ටු කිහිපයකින් සමන්විත එකකි. ප්‍රධාන තැපැල් කාර්යාලය පිහිටියේ එහි පහත මාලයේය. තැපැල් කාර්යාලය ඇතුළත මුද්දර කාර්යාංශයේ වෙළඳ කවුළුවක් පවත්වාගෙන යන බව දැන ගන්නට ලැබුණෙන් පළමුව එහි පිවිසුණෙමි. සාම්ප්‍රදායික රාජ්‍ය සේවයේ ගති, නවීන මෙවලම් හා උපාංග පරයමින් මෙතැනත් විද්‍යමාන වෙයි. අවාසනාවක මහත. එහිද ඇත්තේ පොත් සාප්පුවල විකුණන්නට ඇති Stock Book එකම ය. එහෙත් අහම්ඹයෙන් මෙන් අගනා වස්තුවක් මනෙත ගැටිණ. ඒ 1948 – 2005 දක්වා ශ්‍රී ලංකාව තුළ නිකුත් කළ මුද්දරවල විස්තර අඩංගු මුද්දර නාමාවලියකි (Stamp Index). මුද්දර කාර්යාංශය විසින් ඉතා අගනා ලෙස මුද්‍රණය කර තිබුණු එය, රැපියල් දෙදහසකට මිල කර තිබුණද එහි ඇති වටිනාකම සලකා එයින් එකක් මිලදී ගත්තෙමි.


Image: FreeDigitalPhotos.net

කෞතුකාගාරයට පිවිසෙන දොරටුව ඇත්තේ ප්‍රධාන තැපැල් කාර්යාලයට වම් පසිනි. කෞතුකාගාරයට පිවිසීම සඳහා එම දොරටුවත් ඊට මදක් ඔබ්බෙන් ඇති මුද්දර කාර්යාංශයත් පසු කළ යුතුය. අවසානයේ බලාපොරොත්තු කඩ වූ සිතින් තැපැල් කෞතුකාගාරය නරඹන්නට ගියෙමි. ඇතුල්වීම සඳහා ටිකට් ලබාගැනිමක් අවශ්‍ය නොවුණි. මා කෞතුකාගාරයට ඇතුළුවත්දි එහි පාළුව රජයමින් තිබිණ. මා හැරෙන්නට වෙනත් කිසිදු නරඹන්නෙකු එහි නොවීය. එය එක් අතකින් මට නිදහසේ කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව උදා කර දීමක් විය. පැරණි දින මුද්‍රා වල සිට ශ්‍රි ලංකා තැපෑල හා සම්බන්ධ සෑම සියලු දෙයක් ම පාගේ එහි තැන්පත් කර තිබිණ. එහි ඉහත මාලය මුද්දර ප්‍රදර්ශනය කිරීම සඳහා වෙන් කර තිබේ. එහිදී හමු වූ අකිල මහතා මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය. ආයතන පරිශ්‍රයට ඇතුළු වූ මොහොතේ සිට කිහිපදෙනෙකුගෙන්ම විමසා වත් දැන ගන්නට නොහැකි වු කරුණු රැසක් මට ඔහුගෙන් දැන ගත හැකි විය. තවමත් වැඩි දෙනෙකුගේ නෙත ගැටී නැති ජාතික තැපැල් කෞතුකාගාරය කුඩා දරු දැරියන්ට මෙන්ම මුද්දර වලට ආදරය කරන කොයි කාටත් ඉතා වැදගත් වන බව නම් නිසැකය.

ජාතික තැපැල් කෞතුකාගාරයේ හා මුද්දර ප්‍රදර්ශනාගාරයේ ඡායරූප එකතුවක් පහත සබැඳිය ඔස්සේ නැරඹිය හැකිය.

ජාතික තැපැල් කෞතුකාගාරය සහ මුද්දර ප්‍රදර්ශනාගාරය – සේයාරූ එකතුව



>>> Coming Up Next >>>

මුද්දර එකතු කිරීම ගැන ගෙන එන ලිපි පෙළ...
මුද්දරයේ වංශ කතාව...