Pages

මුද්දර ලෝලියෙකුගේ අන්තර්ජාල සටහන …

අතිශයින්ම මුද්දර ලෝලීන් සඳහා පමණයි !

Sunday, April 30, 2017

බුදුරදුන් නොමැතිව වෙසක් සැමරීම

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 වැන්නේ වෙසක් පුන් සඳ උදා වන්නට තවත් ඇත්තේ දින කිහිපයක් පමණකි. ශ්‍රී ලංකාවාසි බෞද්ධයන් පමණක් නොව සමස්ත ලෝකවාසී බොදුනුවන් හැමදෙනාමත්, සිය උත්තරීතර ශාස්තෘන්වහන්සේගේ අසිරිමත් තෙමඟුල ස්මරණය සඳහා පිළිවෙලින් සහ පිළිවෙතින් පෙළ ගැසෙන කාලයයි මේ. වරෙක ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලි ලත් මේ කුඩා දිවයිනට මෙවර උදාවන වෙසක් සඳ තවත් අතකින් වැදගත් වෙයි. මන්ද යත් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙල පවත්වන්නට මෙවර තෝරාගෙන ඇත්තේ අප ජීවත්වන මේ පින්බිම වීමයි.
කොළඹ දී සහ මහනුවර දී මෙම සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කෙරුමට ලහි ලහියේ කටයුතු සූදානම් වෙමින් පවතින බවත්, ප්‍රධාන ආරාධිතයා ලෙසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා සහභාගී වනු ඇති බවත් ගුවනේ විසිරෙන රූපවාහිණි සහ ගුවන් විදුලි පුවත් වලින් අප කණ වැකෙයි. එතැනින් නොනැනවති මුද්‍රිත මාධ්‍යවල පළ වන දැන්වීම් පමණක් නොව තැන තැන තාප්පයක් තාප්පයක් පාසා අලවා ඇති දේශපාලක රූ රැගත් පෝස්ටර් වලින් අප නෙත ගැටෙයි.
මෙවන් පසුබිමක එළබෙන වෙසඟ මුද්දර ලෝලීන් වන අපට වැදගත් වන්නේ, සෑම වසරකම පාහේ වෙසක් උළෙල සැමරීම වෙනුවෙන් මුද්දර කිහිපයක් අප රටින් ද නිකුත් වන බැවිනි. සැබවන්ම මේ දෙස දෑස් දල්වා බලා සිටින්නේ ශ්‍රී ලාංකීය මුද්දරලෝලින් පමණක් නොවේ. විවිධ රටවල, වෙසෙසින් ම “Buddha & Buddhism” තේමාව යටතේ මුද්දර එකතු කරන බොහෝ දෙනෙකුගේ නෙත් මෙදෙසට යොමු වී තිබේ. දැනට දැන ගන්නට ලැබී ඇති අන්දමට වෙසක් උත්සවය සැමරනු වස් රුපි 8.00, 10.00 සහ 15.00 යන වටිනාකම් වලින් යුතු මුද්දර ත්‍රිත්වයක් මැයි මස 03 වැනි දා අනුරාධපුරයේදී නිකුත් කිරීමට කටයුතු කෙරෙමින් පවතී. මුද්දර ත්‍රිත්වය රැගත් සිහිවටන පත්‍රිකාවක් සහ මුල්දින කවරයක් ද ඒ සමඟම එළිදැක්වෙන බව සැලයි. ඒ හැරෙන්නට මෙවර ශ්‍රී ලංකාව කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල වෙනුවෙන් සමරු මුද්දර 20ක් නිකුත් කිරීම කෙරෙහි අවධානය යොමු ව ඇති බවක් ද දැන ගන්නට තිබේ.
කරුණු කාරණා මෙලෙස සිදු වෙද්දී මුද්දර ලෝලී ඔබේ අවධානය තවත් කරුණක් කෙරෙහි යොමු කරවන්නට අදහස් කරමි. සැබවින් ම මේ ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ද මේ සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කිරීම බැව් සිහිපත් කරමි.
ලෝකයේ නන් දෙසින් බුදු පුදට නිර්මිත මුද්දර, සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර පිළිබඳව මාගේ අවධානය යොමු වූයේ ඉතා මෑතක සිට ය. ඒ සඳහා මා පෙළඹවුයේ දීප්ති හතුරුසිංහ සහ අන්ජුල් ගුප්තා යන මහත්වරුන් විසිනි. ඔවුන්ගේ ගුරුහරුකම් ඔස්සේ මම ද කෙමෙන් කෙමෙන් ලොව නන් දෙසින් විවිධ කාල වලදී බුදු පුදට නිර්මිත මුද්දර එකතු කරන්නට පටන් ගතිමි. ඒ අතර ම මගේ මව්බිමෙන් මේ සඳහා නිකුත් කෙරුණු මුද්දර පිළිබඳව යම් අධ්‍යයනයක යෙදෙන්නට මගේ සිත යොමු වුයේ නැතිතිනි. මුද්දර සම්බන්ධයෙන් කෙසේ වෙතත් සිහිවටන පත්‍රිකා සම්බන්ධයෙන් එය එතරම්ම අපහසු නොවිණි. අවසානයේ 1973 සිට 2016 දක්වා කාල පරාසය තුළ කෙරුණු මුද්දර නිකුතු 48ක් සම්බන්ධයෙන් මගේ අවධානය යොමු විය. (මෙය පත්‍රිකා වශයෙන් ගත් කළ 55 ක් පමණ වේ. Souvenir Sheets පමණක් නොව Sheet lets කිහිපයක් ද මෙයට ඇතුලත් ය.)
ලංකාවේ පළමු මුද්දරය නිකුත් වන්නේ බ්‍රිතාන්‍ය විසින් ලොව පළමු මුද්දරය එළි දක්වා වසර 17 කට පසුව එනම් 1857 අප්‍රියෙල් 01 වැනිදා ය. එහෙත් අප රටින් නිකුත් කළ පළමු සිහිවටන පත්‍රිකාව කළ එළි බසින්නේ වර්ෂ 1966 දී පමණ ය. බුදුදහම හා සම්බන්ධ සිහිවටන පත්‍රිකාවක් මුල්වරට නිකුත් වන්නේ 1973 දීය.

“Rock & Temple Paintings” යටතේ එළි දක්වෙන එයින් පසු නැවත එවැන්නක් නිකුත් වන්නේ ඉන් වර්ෂ 03 කට පමණ පසු 1976 වෙසක් උත්සවය වෙනුවෙනි. අද වන විට ඉතා මිල අධික සිහිවටන පත්‍රිකාවක් බවට ද මෙම සිද්ධාර්ථ කුමාරොත්පත්තිය නිරූපිත(මුද්දර 06 කින් යුතු) 1976 වෙසක් සිහිවටන පත්‍රිකාව පත් ව තිබේ.

එයින් පසුව නැවත මෙවැනි සිහිවටන පත්‍රිකාවක් එළි දකින්නේ එයිනුත් වසර 3 කට පසුව 1979 වෙසක් උළෙල නිමිති කර ගනිමිනි. ඉන් පසුව එළඹෙන 1981 වැන්නේ සිට සෑම වසරකම පාහේ ( 1986 සහ 2009 වර්ෂවල දී හැරෙන්නට/ 1980 වර්ෂයේදි ද වෙසක් උළෙල වෙනුවෙන් සිහිවටන පත්‍රිකාවක් නිකුත් වී නැත ) වෙසක් උත්සවය නිමිති කර ගනිමින් සිහිවටන පත්‍රිකාවක් බැගින් නිකුත් කර තිබේ. මගේ අධ්‍යයන කටයුතු වල පහසුව තකා එක් එක් වසරේදී “Buddha & Buddhism” යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන්නට යෙදුණු සෑම සිහිවටන පත්‍රිකාවක් ම අනුපිළිවෙලට සිටින සේ PDF ගොනුවක් සකස් කර ගතිමි. ඉන් පසුව ඉතා අවධානයෙන් වසරෙන් වසරට යමින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දි මට නිතැතින් ම වැටහී ගිය කරුණක් නම් මේ තාක්
අප වෙසක් උළෙල සමරා ඇත්තේ බුදු හිමි නොමැතිව බවයි
.

වර්ෂ 2008 දී සහ වර්ෂ 2013 දි නිකුත් කළ වෙසක් සමරු පත්‍රිකා දෙකේ හැරුණු කොට ශ්‍රී ලංකාවෙන් නිකුත් කෙරුණු වෙනත් කිසිදු සිහිවටන පත්‍රිකාවක තබා මුද්දරයක වත් බුදු රුව සටහන් ව නොමැත.
මම මහත් විශ්මයට පත් වූයෙමි.
භූතානය, තායිලන්තය, ලාඕසය වැනි රටවල් පවා රමණීය බුදු රූ රැගත් මුද්දර සහ සහිවටන පත්‍රිකා එළිදක්වද්දී අපට එය නොහැකි වී ඇත්තේ මන්දැයි මම මගෙන් ම ප්‍රශ්න කර ගතිමි.

අවසානයේ මගේ සිහියට නැගුණේ මේ සම්බන්ධ ආසන්නතම සිදුවීමයි. ආසන්නතම යනුවෙන් සඳහන් කළ ද එය 1968 තරම් ඈතට දිව යයි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ස්වර්ණ ජයන්තිය සැමරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සමරු මුද්දර දෙකක් සැලසුම් කොට තිබිණ. ඒ සත 5 සහ සත 50 වශයෙනි. සත 50 මුද්දරයෙන් නිරූපණය වූයේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයයි. මුද්දර පොත් කවර ආදිය සඳහා බුදුන් වහන්සේගේ රුව යෙදීම බෞද්ධාගමට කරන අගෞරවයක් නිසා ශ්‍රී පාද පද්මය යෙදූ මුද්දරයක් නිකුත් කිරීම මහත් අපරාධයක් හා අගෞරවයක් බව බොහෝ බෞද්ධ සමිති සමාගම් විසින් රජයට කරුණු ඉදිරිපත් කරමින් විරෝධය දැක්වීමෙන් පසු එවකට තැපැල් ඇමති වරයා ව සිටි මොන්ටේගු ජයවික්‍රම මහතා මෙම මුද්දරය අළෙවි කිරීම තහනම් කරමින් නියොගයක් නිකුත් කිරීමත් සමඟ ලංකා ඉතිහාසයේ පළමු වරට මුදදරයක් අවලංගු කිරීමට කටයුතු යෙදිණ.

බුදුරුව තබා බුදුරජාණන් වහන්සේ සිහි ගන්වන ලාංඡනයක්/සංකේතයක් මුද්දරයකට යෙදිමට එරෙහිව මේ තරම් විරෝධයක් එල්ල වූවා නම් බුදුරුවක්/බුදු පිළිමයක් මුද්දරයකට නැගුණා නම් එල්ලවන්නට තිබුණ විරෝධය ගැන සිතා ගත හැකිය. මට හැඟෙන අකාරයට නම් එයින් වසර 50 කට පසුවත් අද දක්වාම බුදුරුව ශ්‍රී ලාංකීය මුද්දරයකට නොනැගෙන්නට හේතු පාදක වී ඇත්තේ බෞද්ධ සමාජයෙන් නැගෙන මේ විරෝධාකල්පයයි. එක් අතෙකින් ගත් කළ මේ තර්කයෙහි යම් සත්‍යතාවක් තිබේ. බොහෝ සාමාන්‍ය මිනිසුන්ගේ ඇසින් බලන කළ මුද්දරය යනු ලියුමක් යැවීමට හෝ ඔප්පු තිරප්පු කටයුත්තකට මිස වෙනත් කිසිදු වැඩකට නැති අඟළක් පමණ දිග පළල ඇති කඩදාසි කැබැල්ලකි. ලියුමක් යවන්නට ඕනෑ වූ විට පිටුපස කෙළ තලියක් තවරා ලිපිකවරය මත තබා එය ලිපිකවරයේ හොඳින් ඇළවෙන තෙක් ඊට අත්ලෙන් තඩි බා පසුව තැපැල් හලේදී කට්ට කළු මුද්‍රාවකින් ද තඩි බා අවලංගු වන්නකි. එනයින් ගත් කළ මුද්දරයෙන් නිරූපිතයට වන අවමානය සුළු පටු නොවේ.
එහෙත් මුද්දර ලෝලීන් වන අපට මුද්දරය යනු ඉන් එහා ගිය වස්තුවකි. බුදු රුව වැනි අති පූජනීය වස්තුවක් ඒ මත නිරූපණය වීම යනු මුද්දරයට ද පූජණීයත්වයක් එක් වීම බැව් මගේ අදහසයි.
අවසාන වශයෙන් මගේ සිහියට නැගෙන්නේ මාගේ ශාස්තෟන්වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් ගලා ගිය වදනකි.
“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” | “මහණෙනි, මම වේතනාවම කර්මය යැයි වදාරමි”
අපට කර්ම රැස් වන්නේ පැහැදිලිවම අප කරන කියන සහ සිතන පතන දෙය අනුවය. බුදු රදුනට අ‍ගෞරව කිරිමේ අදහසක් මුද්දර නිකුතුවක් තුළ නැත්නම් එයින් බුදු රදුනට වන අපහාසයක් හෝ අගෞරවයක් නැත යන්න මාගේ අදහසයි.

කමකට නැති හිස් අදහස් පසෙක ලා ශ්‍රී ලංකේය අභිමානය ලෝකය වෙත ගෙන යන්නට කාලය පැමිණ ඇත. නැතිනම් අපට සිදුවන්නේ ලොව අන් රටවල් අපේ අනන්‍යතාවයන් යොදා ගනිමින් මුද්දර නිකුත් කරද්දි නිහඬව බලා සිටින්නටය.
අනුරපුර මහමෙව්නාවේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, අව්කන බුද්ධ ප්‍රතිමා වහන්සේ, මාළිඟාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ, පොළොන්නරුවේ ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ත්‍රිත්වය, පොළොන්නරුවේ වටදා ගෙයි බුද්ධ ප්‍රතිමා වහන්සේලා, කොළඹ කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති තොලුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ, දඹුළු විහාරයෙහි බුද්ධ ප්‍රතිමා වහන්සේලා ආදි මෙකී නොකී අභිමානයන් රැසක් ලෝකය හමුවේ ගෙන හැර පාන්නට අපට ඇති පහසුම මග අප විසින් ම අහුරාගෙන ඇත.
මුද්දරය යනු සුළු පටු වස්තුවක් නොවේ. එය ලෝකයා අමතන අපගේ නිහඬ තානාපතිවරයායි.
ඉඳින් බුදු රදුන් සමඟින් වෙසඟ සමරන්නට දැන් කාලය එළඹ තිබේ෴
Pictures are for illustration purposes only. I do not own any of them. e Philatelist | sansarasidu

0 comments:

Post a Comment