Pages

මුද්දර ලෝලියෙකුගේ අන්තර්ජාල සටහන …

අතිශයින්ම මුද්දර ලෝලීන් සඳහා පමණයි !

Sunday, July 1, 2018

"කොළඹ මුද්දර දැක්ම" සහ "SLIPA මුද්දර අලෙවි සල්පිල" - පසුවිපරම



මූද්දර කාර්යාංශයත්, ශ්‍රී ලංකා නිදහස් මූද්දර ලෝලීන්ගේ සංගමයත් වෙන වෙනම සංවිධානය කරනු ලබන මුද්දර අළෙවි සල්පිල් දෙකක් මෙවරත් එකම දිනයන්හිදී නමූත් ස්ථාන දෙකක දී පවත්වන්නට යෙදිණි.

මෙම ජූනි මස 29, 30 සහ ජූලි 1යන දිනයන්හිදී පැවැති මෙම සල්පිල් දෙකෙන් එකක් "කොළඹ මුද්දර දැක්ම | Colombo Stamp Show" නමින් තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී පැවති අතර එය මුද්දර කාර්යාංශය විසින් සංවිධානය කර තිබිණි.

අනෙක, කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවති අතර එය  ශ්‍රී ලංකා නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමය (SLIPA) විසින් පවත්වන්නට යෙදිණි.

මෙම මුද්දර අලෙවි සල්පිල් දෙක සඳහාම සැලකියයුතු මුද්දර අලෙවිකරුවන්ගේ මෙන්ම මුද්දර ලෝලීන්ගේ ද සහභාගීත්වයක් දක්නට ලැබුණු අතර කොළඹ මුද්දර දැක්ම සඳහා තැපැල් සේවකයින් විසින් මෑත දී පවත්වන්නට යෙදුණු අඛණ්ඩ වැඩ වර්ජනය යම්තාක්දුරකට අහිතකර අන්දමින් බලපා තිබෙන අයූරු ද අපට නිරීක්ෂණය කිරීමට ලැබිණ.

ඒ කෙසේ නමුදු මෙම පසුවිපරම තුලින් අප කතා බහ කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම මුද්දර අලෙවි සල්පිල් දෙකෙන් මුද්දර ලෝලීන්ට හා ජනතාවට ලබාදෙන පහසුකම් පිළිබඳවයි.

සුපුරුදු ලෙසම මෙම අලෙවි සල් පිල් දෙකම පැවැත්වෙන්නේ කොළඹ අග නගරය කේන්ද්‍ර කර ගනිමිනි.
මේ නිසා මූද්දරයට හිතැති, ඉතා දුර බැහැර පළාත්වල වෙසෙන මුද්දර ලෝලීන්ට තමන්ට අවශ්‍ය මුද්දර හා ඒ ආශ්‍රිත ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා කොළඹටම පැමිණීමට සිදුවේ. කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය සිහිගන්වමින් පැවැත්වෙන මෙම අලෙවි සල්පිල්වල, ඊට ඉතා දුර බැහැර සිට පවා මෙලෙස සහභාගීවන මුද්දර ලෝලීන්ට සහ ජනතාවට අවශ්‍ය අවම පහසුකම්වත් නිසි ආකාරයෙන් ලැබේදැයි විමසා බැලීම කාලෝචිතයැයි හැඟේ.

ඉහින් කනින් දහදිය පෙරාගෙන පැය ගණන් සිටගෙන මුද්දර තෝරන මුද්දර ලෝලීන් අප නෙතට හසු විණි. වෙනත් රටවල මෙවැනි මුද්දර අලෙවිසැල් සහ ප්‍රදර්ශන පැවැත්වෙන්නේ වායු සමනය කරන ලද ශාලා තුළයි. නමුදු එවැනි බරපැනක් උසුලන්නට අපේ රට වැනි රටකට තවමත් නොහැකි බව අපි පිළිගනිමු. එනමුදු මෙසේ මුද්දර මිලදී ගැනීම සඳහා පැමිණෙන මුද්දර ලෝලීන්ට අඩුම තරමින්,  රිසිසේ ඉඳගෙන අවශ්‍ය මුද්දර තෝරා බේරා ගන්නට ඉඩ සලසා දෙන්නට මෙම මුද්දර සල්පිල් සංවිධානය කරන්නන්ට  යුතුකමක් තිබිණි. යම් තරමකින් හෝ මේ සඳහා උත්සාහයක් ගෙන තිබුනේ ශ්‍රී ලංකා නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමය පමණි. ඔවුන් පමණක් මුද්දර මිලදී ගන්නට පැමිණෙන්නන් සඳහා පුටු කිහිපයක් තබා තිබෙනු දක්නට ලැබිණි.

මෙම මුද්දර සල්පිල් සඳහා මුද්දර මිලදී ගන්නට පැමිණෙන අයට ආහාර පාන ගැනීමේ සහ වැසිකිළි කැසිකිළි පහසුකම් ලබාදී තිබුණේ ඉතා මද වශයෙනි. මෙහිදීද වඩා හොඳින් මෙම තත්වය සඳහා විසඳුම් ලබා දී තිබුණේ නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමය පමණි. විශේෂයෙන්ම ඔවුන්ගේ මුද්දර සල්පිල පැවැත්වෙන්නේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී බැවින් භෝජන ශාලා සහ වැසිකිළි පහසුකම් සලසා ගැනීමේ ගැටලුවක් පැන නොනගී. තැපැල් මූලස්ථාන පරිශ්‍රයේද භෝජන ශාලාවක් ඇති නමුත් සල්පිල පැවති දින තුනක කාලය පුරාවට එය විවෘතව තබන්නට පියවරක් ගෙන තිබුනේ නැත.

අනෙක් පැත්තෙන් ඛැලූවිට  අලෙවි කුටි වෙන්කර දීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව  සාපේක්ෂව ඉහළ ගාස්තුවක් අය කරන බැවින් එතරම් මිලක් ගෙවා අලෙවිකුටි වෙන් කර ගැනීමට අකමැති බොහෝ මුද්දර අලෙවිකරුවන් එක් වන්නේ නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමය පවත්වන මුද්දර අලෙවි සල්පිලට බව අපට දැන ගැනීමට ලැබිණි.

තමන් අයකරන ගාස්තු වලට සරිලන අන්දමින් මුද්දර අලෙවි කරන්නන්ටත් වෙසෙසින් ම  මුද්දර මිලදීගන්නට පැමිණෙන්නන්ටත් අවශ්‍ය අමතර පහසුකම් සැලසීම මෙවැනි සල්පිල් සංවිධානය කරන්නන් ගේ වගකීමක් බව අපගේ අදහසයි. ඉදිරියේදී හෝ ඔවුන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු. මන්ද යත් මෙවැනි මුද්දර සල්පිලක් තුලින් උපරිම ඵල නෙළා ගැනීමට එහි සංවිධායකයන් ටත් ඊට සහභාගී වන මුද්දර ලෝලී අපටත් හැකි වන්නේ එවිට බැවිනි.

 - සන්සරසිදු | e Philatelist -