Pages

මුද්දර ලෝලියෙකුගේ අන්තර්ජාල සටහන …

අතිශයින්ම මුද්දර ලෝලීන් සඳහා පමණයි !
Showing posts with label කාලීන. Show all posts
Showing posts with label කාලීන. Show all posts

Sunday, December 9, 2018

අඳුනාගත නොහැකි මුද්දර

දිනය :  වර්ෂ 2025 මාර්තු මස, එක් ශනිදාවක්
ස්ථානය : නෝර්ත්හැම්ටන්, පෙන්සිල්වේනියා

අැලන්ටවුන් මුද්දර සමාජයේ මිතුරු හමුවට ගොස් නැවත නිවසට පැමිණි කුඩා රයන් සිය කාමරයේ මේසය අසළට වී සිය මිතුරු මිතුරියන්ගෙන් හුවමාරු වශයෙන් ලැබුණු මුද්දර එකින් එක ගෙන නිරීක්ෂණය කරමින් සිටී. කුඩා දරුවා අැතැම් විටෙක විශාලක අත් කාචය ගෙන එ්වා සියුම්ව පරීක්ෂා කරයි. සැබවින්ම ඔහු මේ වන විට පසුවන්නේ මූද්දර විසින් ගෙන යන ලද ඔහුගේ ම ලොවක ය. අද ලැබුණු මූද්දර නිසා ඔහුගේ ළපටි සිත අමන්දානන්දයට පත් වී අැති බව වරෙක කෑම කාමරය වෙත යන අතර තුර එහි එබී බැලූ ඔහුගේ සීයාට ද දැන් නොරහසකි. මුවඟට මන්දහාසයක් නගා ගත් මැල්කම් මහල්ලා එතැනින් නික්ම කෑම කාමරය වෙත පියනඟන්නට විය. සැරයටියේ වාරුවෙන් තබන ඔහුගේ පියවර හඬ අැසී රයන්ගෙ දැහැන බිඳිණ.

“සීයා.. ඔයා ඔතන ද…? මං සීයා එනකල්මයි බලාගෙන හිටියේ?”

මැල්කම් සිය ගමන නවතා රයන්ගෙ කාමරයට අැතුල් විය.
“මොකද දරුවා.. මට අායෙමත් දඩයක් නියම කරන්න ද හදන්නෙ..” මහල්ලා එසේ අැසුවේ දසන් දක්වා ඔලොක්කුවට සිනාසෙමිනි.

“නෑ.. නෑ සීයේ…”
“මෙතන සමහර මුද්දර තියෙනවා මට අඳුරගන්න බැරි.. එ්කයි” දරුවා පිළිතුරු දුන්නේ නෝක්කාඩු ස්වරයෙනි.

“අැයි දරුවො මං කොච්චරවත් කියලා තියෙනවාද එ්ක කරන හැටි.. ඕක හරිම සරල වැඩක්නෙ..”

දරුවා හිස දෙපසට වනන්නට වුයේ මහල්ලාගෙ බසට එකඟ නොවන බවක් හඟවමිනි.

“ඔය දරුවට මං කියල තියෙනව නේද මුලින්ම කරන්න ඕන දේ… මුලින්ම බලන්න ඕන ඔය මූද්දරය නිකුත් කරල තියෙන්නෙ මොන රටෙන් ද කියල.. ඔය මහා බ්‍රිතාන්‍ය ඇරෙන්න අනිත් රටවල් ඔක්කොම වගේ තමන්ගෙ මව් භාෂාවෙන් හරි රටේ නම මුද්දරය උඩ සඳහන් කරන්න වග බලා ගන්නවනෙ..”

“හරි.. හරි සීයා.. මං රට නම් හොයා ගත්තා..එ්ත්… ”
දරුවාට වාක්‍ය අවසන් කිරීමට ලැබුණෙ නැත.
“ඉතින් කොලුවො එහෙනම් මොකක්ද තියෙන ප්‍රශ්නෙ.. ඔය මුද්දරේ පැත්තකින් පූංචියට අැති නෙව නිකුත් කරපු අවුරුද්ද.. එ්ක බලාගෙන අර මුද්දර නාමාවලියක් අරගෙන අදාළ රටේ… අදාළ අවුරුද්දට පෙරළලා බැලුවා නම් ඔය මුද්දරේ අඳුනගන්න බැරි වෙන්නෙ කොහොමද..?” මහල්ලාගෙන් නිකුත් වුයේ අවලාද නගන හඬකි.

“ඔව් සීයා.. එහෙම කරන්න තිබුණා රටේ නමයි.. නිකුත් කරපු අවුරුද්දයි දෙකම තිබුණා නම්.. මේ රටෙන් ගහන මුද්දරවල රටේ නම තිබුණට අවුරුද්ද නැහැනෙ.. සීයා මට කියන්නෙ මුද්දර නාමාවලි එකින් එක පෙරළ පෙරළා මේ මුද්දර අඳුරගන්න කියල ද..” කුඩා දරුවාගෙ හඬ දැඩිය. ඔහු හිඳහුන් අසුනෙන් බිමට පැන්නේ තවත් නෝක්කාඩුවකින් දමා ගසමිනි.

“ඔව්… මට එහෙම කරන්න තිබුණා, වෙන වැඩ මුකුත් නැත්නම්… එහෙමත් නැත්නම් මේ ලෝකේ මුද්දර නිකුත් කරන රටකට තියෙන්නෙ ඔය රට විතර නම්..”

මහල්ලා වික්ෂිප්ත දෑසින් බලා සිටිද්දී දරුවා අඩියට දෙකට කාමරයෙන් ඉවත් වූයේ නොපහන් සිතිනි. දරුවා ගිය දෙස තවත් මොහොතක් වික්ෂිප්තවම බලා සිටි මහල්ලා අනතුරුව මේසයට ළං වී එ් මත දමා තිබූ දරුවා අපහසුවට පත් කළ මූද්දර එකින් එක මුද්දර අඬුවකින් ගෙන විශාලක කාචයෙහි අාධාරයෙන් පිරික්සන්නට විය.

දරුවා කී ලෙසම නිකුත් කළ වර්ෂයක් සඳහන් නොවූ එම නව මුද්දර “ශ්‍රී ලංකා” නම් රටකින් නිකුත් කළ බව පමණක් දැක ගත හැකි විය‍‍෴

Sunday, July 1, 2018

"කොළඹ මුද්දර දැක්ම" සහ "SLIPA මුද්දර අලෙවි සල්පිල" - පසුවිපරම



මූද්දර කාර්යාංශයත්, ශ්‍රී ලංකා නිදහස් මූද්දර ලෝලීන්ගේ සංගමයත් වෙන වෙනම සංවිධානය කරනු ලබන මුද්දර අළෙවි සල්පිල් දෙකක් මෙවරත් එකම දිනයන්හිදී නමූත් ස්ථාන දෙකක දී පවත්වන්නට යෙදිණි.

මෙම ජූනි මස 29, 30 සහ ජූලි 1යන දිනයන්හිදී පැවැති මෙම සල්පිල් දෙකෙන් එකක් "කොළඹ මුද්දර දැක්ම | Colombo Stamp Show" නමින් තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී පැවති අතර එය මුද්දර කාර්යාංශය විසින් සංවිධානය කර තිබිණි.

අනෙක, කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවති අතර එය  ශ්‍රී ලංකා නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමය (SLIPA) විසින් පවත්වන්නට යෙදිණි.

මෙම මුද්දර අලෙවි සල්පිල් දෙක සඳහාම සැලකියයුතු මුද්දර අලෙවිකරුවන්ගේ මෙන්ම මුද්දර ලෝලීන්ගේ ද සහභාගීත්වයක් දක්නට ලැබුණු අතර කොළඹ මුද්දර දැක්ම සඳහා තැපැල් සේවකයින් විසින් මෑත දී පවත්වන්නට යෙදුණු අඛණ්ඩ වැඩ වර්ජනය යම්තාක්දුරකට අහිතකර අන්දමින් බලපා තිබෙන අයූරු ද අපට නිරීක්ෂණය කිරීමට ලැබිණ.

ඒ කෙසේ නමුදු මෙම පසුවිපරම තුලින් අප කතා බහ කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම මුද්දර අලෙවි සල්පිල් දෙකෙන් මුද්දර ලෝලීන්ට හා ජනතාවට ලබාදෙන පහසුකම් පිළිබඳවයි.

සුපුරුදු ලෙසම මෙම අලෙවි සල් පිල් දෙකම පැවැත්වෙන්නේ කොළඹ අග නගරය කේන්ද්‍ර කර ගනිමිනි.
මේ නිසා මූද්දරයට හිතැති, ඉතා දුර බැහැර පළාත්වල වෙසෙන මුද්දර ලෝලීන්ට තමන්ට අවශ්‍ය මුද්දර හා ඒ ආශ්‍රිත ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා කොළඹටම පැමිණීමට සිදුවේ. කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය සිහිගන්වමින් පැවැත්වෙන මෙම අලෙවි සල්පිල්වල, ඊට ඉතා දුර බැහැර සිට පවා මෙලෙස සහභාගීවන මුද්දර ලෝලීන්ට සහ ජනතාවට අවශ්‍ය අවම පහසුකම්වත් නිසි ආකාරයෙන් ලැබේදැයි විමසා බැලීම කාලෝචිතයැයි හැඟේ.

ඉහින් කනින් දහදිය පෙරාගෙන පැය ගණන් සිටගෙන මුද්දර තෝරන මුද්දර ලෝලීන් අප නෙතට හසු විණි. වෙනත් රටවල මෙවැනි මුද්දර අලෙවිසැල් සහ ප්‍රදර්ශන පැවැත්වෙන්නේ වායු සමනය කරන ලද ශාලා තුළයි. නමුදු එවැනි බරපැනක් උසුලන්නට අපේ රට වැනි රටකට තවමත් නොහැකි බව අපි පිළිගනිමු. එනමුදු මෙසේ මුද්දර මිලදී ගැනීම සඳහා පැමිණෙන මුද්දර ලෝලීන්ට අඩුම තරමින්,  රිසිසේ ඉඳගෙන අවශ්‍ය මුද්දර තෝරා බේරා ගන්නට ඉඩ සලසා දෙන්නට මෙම මුද්දර සල්පිල් සංවිධානය කරන්නන්ට  යුතුකමක් තිබිණි. යම් තරමකින් හෝ මේ සඳහා උත්සාහයක් ගෙන තිබුනේ ශ්‍රී ලංකා නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමය පමණි. ඔවුන් පමණක් මුද්දර මිලදී ගන්නට පැමිණෙන්නන් සඳහා පුටු කිහිපයක් තබා තිබෙනු දක්නට ලැබිණි.

මෙම මුද්දර සල්පිල් සඳහා මුද්දර මිලදී ගන්නට පැමිණෙන අයට ආහාර පාන ගැනීමේ සහ වැසිකිළි කැසිකිළි පහසුකම් ලබාදී තිබුණේ ඉතා මද වශයෙනි. මෙහිදීද වඩා හොඳින් මෙම තත්වය සඳහා විසඳුම් ලබා දී තිබුණේ නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමය පමණි. විශේෂයෙන්ම ඔවුන්ගේ මුද්දර සල්පිල පැවැත්වෙන්නේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී බැවින් භෝජන ශාලා සහ වැසිකිළි පහසුකම් සලසා ගැනීමේ ගැටලුවක් පැන නොනගී. තැපැල් මූලස්ථාන පරිශ්‍රයේද භෝජන ශාලාවක් ඇති නමුත් සල්පිල පැවති දින තුනක කාලය පුරාවට එය විවෘතව තබන්නට පියවරක් ගෙන තිබුනේ නැත.

අනෙක් පැත්තෙන් ඛැලූවිට  අලෙවි කුටි වෙන්කර දීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව  සාපේක්ෂව ඉහළ ගාස්තුවක් අය කරන බැවින් එතරම් මිලක් ගෙවා අලෙවිකුටි වෙන් කර ගැනීමට අකමැති බොහෝ මුද්දර අලෙවිකරුවන් එක් වන්නේ නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමය පවත්වන මුද්දර අලෙවි සල්පිලට බව අපට දැන ගැනීමට ලැබිණි.

තමන් අයකරන ගාස්තු වලට සරිලන අන්දමින් මුද්දර අලෙවි කරන්නන්ටත් වෙසෙසින් ම  මුද්දර මිලදීගන්නට පැමිණෙන්නන්ටත් අවශ්‍ය අමතර පහසුකම් සැලසීම මෙවැනි සල්පිල් සංවිධානය කරන්නන් ගේ වගකීමක් බව අපගේ අදහසයි. ඉදිරියේදී හෝ ඔවුන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු. මන්ද යත් මෙවැනි මුද්දර සල්පිලක් තුලින් උපරිම ඵල නෙළා ගැනීමට එහි සංවිධායකයන් ටත් ඊට සහභාගී වන මුද්දර ලෝලී අපටත් හැකි වන්නේ එවිට බැවිනි.

 - සන්සරසිදු | e Philatelist -

Sunday, April 30, 2017

බුදුරදුන් නොමැතිව වෙසක් සැමරීම

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 වැන්නේ වෙසක් පුන් සඳ උදා වන්නට තවත් ඇත්තේ දින කිහිපයක් පමණකි. ශ්‍රී ලංකාවාසි බෞද්ධයන් පමණක් නොව සමස්ත ලෝකවාසී බොදුනුවන් හැමදෙනාමත්, සිය උත්තරීතර ශාස්තෘන්වහන්සේගේ අසිරිමත් තෙමඟුල ස්මරණය සඳහා පිළිවෙලින් සහ පිළිවෙතින් පෙළ ගැසෙන කාලයයි මේ. වරෙක ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලි ලත් මේ කුඩා දිවයිනට මෙවර උදාවන වෙසක් සඳ තවත් අතකින් වැදගත් වෙයි. මන්ද යත් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙල පවත්වන්නට මෙවර තෝරාගෙන ඇත්තේ අප ජීවත්වන මේ පින්බිම වීමයි.
කොළඹ දී සහ මහනුවර දී මෙම සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කෙරුමට ලහි ලහියේ කටයුතු සූදානම් වෙමින් පවතින බවත්, ප්‍රධාන ආරාධිතයා ලෙසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා සහභාගී වනු ඇති බවත් ගුවනේ විසිරෙන රූපවාහිණි සහ ගුවන් විදුලි පුවත් වලින් අප කණ වැකෙයි. එතැනින් නොනැනවති මුද්‍රිත මාධ්‍යවල පළ වන දැන්වීම් පමණක් නොව තැන තැන තාප්පයක් තාප්පයක් පාසා අලවා ඇති දේශපාලක රූ රැගත් පෝස්ටර් වලින් අප නෙත ගැටෙයි.
මෙවන් පසුබිමක එළබෙන වෙසඟ මුද්දර ලෝලීන් වන අපට වැදගත් වන්නේ, සෑම වසරකම පාහේ වෙසක් උළෙල සැමරීම වෙනුවෙන් මුද්දර කිහිපයක් අප රටින් ද නිකුත් වන බැවිනි. සැබවන්ම මේ දෙස දෑස් දල්වා බලා සිටින්නේ ශ්‍රී ලාංකීය මුද්දරලෝලින් පමණක් නොවේ. විවිධ රටවල, වෙසෙසින් ම “Buddha & Buddhism” තේමාව යටතේ මුද්දර එකතු කරන බොහෝ දෙනෙකුගේ නෙත් මෙදෙසට යොමු වී තිබේ. දැනට දැන ගන්නට ලැබී ඇති අන්දමට වෙසක් උත්සවය සැමරනු වස් රුපි 8.00, 10.00 සහ 15.00 යන වටිනාකම් වලින් යුතු මුද්දර ත්‍රිත්වයක් මැයි මස 03 වැනි දා අනුරාධපුරයේදී නිකුත් කිරීමට කටයුතු කෙරෙමින් පවතී. මුද්දර ත්‍රිත්වය රැගත් සිහිවටන පත්‍රිකාවක් සහ මුල්දින කවරයක් ද ඒ සමඟම එළිදැක්වෙන බව සැලයි. ඒ හැරෙන්නට මෙවර ශ්‍රී ලංකාව කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල වෙනුවෙන් සමරු මුද්දර 20ක් නිකුත් කිරීම කෙරෙහි අවධානය යොමු ව ඇති බවක් ද දැන ගන්නට තිබේ.
කරුණු කාරණා මෙලෙස සිදු වෙද්දී මුද්දර ලෝලී ඔබේ අවධානය තවත් කරුණක් කෙරෙහි යොමු කරවන්නට අදහස් කරමි. සැබවින් ම මේ ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ද මේ සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කිරීම බැව් සිහිපත් කරමි.
ලෝකයේ නන් දෙසින් බුදු පුදට නිර්මිත මුද්දර, සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර පිළිබඳව මාගේ අවධානය යොමු වූයේ ඉතා මෑතක සිට ය. ඒ සඳහා මා පෙළඹවුයේ දීප්ති හතුරුසිංහ සහ අන්ජුල් ගුප්තා යන මහත්වරුන් විසිනි. ඔවුන්ගේ ගුරුහරුකම් ඔස්සේ මම ද කෙමෙන් කෙමෙන් ලොව නන් දෙසින් විවිධ කාල වලදී බුදු පුදට නිර්මිත මුද්දර එකතු කරන්නට පටන් ගතිමි. ඒ අතර ම මගේ මව්බිමෙන් මේ සඳහා නිකුත් කෙරුණු මුද්දර පිළිබඳව යම් අධ්‍යයනයක යෙදෙන්නට මගේ සිත යොමු වුයේ නැතිතිනි. මුද්දර සම්බන්ධයෙන් කෙසේ වෙතත් සිහිවටන පත්‍රිකා සම්බන්ධයෙන් එය එතරම්ම අපහසු නොවිණි. අවසානයේ 1973 සිට 2016 දක්වා කාල පරාසය තුළ කෙරුණු මුද්දර නිකුතු 48ක් සම්බන්ධයෙන් මගේ අවධානය යොමු විය. (මෙය පත්‍රිකා වශයෙන් ගත් කළ 55 ක් පමණ වේ. Souvenir Sheets පමණක් නොව Sheet lets කිහිපයක් ද මෙයට ඇතුලත් ය.)
ලංකාවේ පළමු මුද්දරය නිකුත් වන්නේ බ්‍රිතාන්‍ය විසින් ලොව පළමු මුද්දරය එළි දක්වා වසර 17 කට පසුව එනම් 1857 අප්‍රියෙල් 01 වැනිදා ය. එහෙත් අප රටින් නිකුත් කළ පළමු සිහිවටන පත්‍රිකාව කළ එළි බසින්නේ වර්ෂ 1966 දී පමණ ය. බුදුදහම හා සම්බන්ධ සිහිවටන පත්‍රිකාවක් මුල්වරට නිකුත් වන්නේ 1973 දීය.

“Rock & Temple Paintings” යටතේ එළි දක්වෙන එයින් පසු නැවත එවැන්නක් නිකුත් වන්නේ ඉන් වර්ෂ 03 කට පමණ පසු 1976 වෙසක් උත්සවය වෙනුවෙනි. අද වන විට ඉතා මිල අධික සිහිවටන පත්‍රිකාවක් බවට ද මෙම සිද්ධාර්ථ කුමාරොත්පත්තිය නිරූපිත(මුද්දර 06 කින් යුතු) 1976 වෙසක් සිහිවටන පත්‍රිකාව පත් ව තිබේ.

Saturday, October 29, 2011

සන්සරසිදු වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් වෙයි ???



“මෙන්න විශේෂ ප්‍රවෘත්තියක් !!!

ආවෝ ගියෝ බ්ලොග් කලාවේ පුරෝගාමියෙකු වශයෙන් සැලකෙන සන්සරසිදු මහතා වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීමේ අවස්ථාවක් අද එනම් 2011/10/29 දා කොළඹ තැපැල් මූලස්ථානයෙන් වාර්තා වුණා... පුරා තෙදිනක් තිස්සේ තැපැල් මූල්ස්ථාන පරිශ්‍රයේ දි පැවැත්වෙමින් තිබෙන වසරේ දැවැන්තම මුද්දර ප්‍රදර්ශනය හා සල්පිල වන "ලංකා ෆිලෙක්ස් 2011" ප්‍රදර්ශනයේ දෙවැනි දිනයේ දි සිදු කෙරුණ මෙම විශේෂ සමරු නිකුත් කිරීම ප්‍රදර්ශනයේ අනෙකුත් අංග අතරින් වඩාත් කැපී පෙනෙන සිදු වීමක් වූ බව සැලයි...

රුපියල් 5 ක වටිනාකමකින් යුතුව සන්සරසිදු මහතාගේ ආලේඛ්‍ය සිතුවකමකින් සැරසුණු මෙම විශේෂ සමරු මුද්දරය, අංකුර මුද්දර නිර්මාණ ශිල්පියෙකු වන ඉසුරු චතුරංග පොත්පිටියගේ අතින් නිමැවී තිබුණා.... පත්‍රිකාවකට මුද්දර 6 බැගින් වන මුද්දර පත්‍රිකා 2 ක් පමණක් මෙම විශේෂ නිකුත් කිරීමට අයත් වූ බව මුද්දර කාර්යාංශ ආරංචි මාර්ග වැඩ්දුරටත් සඳහන් කළා....”



තරමක අතිශයොක්තියෙන් කියැවුණත් එම ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක් නම් නොවෙයි...


2011 වසරේ පැවැත්වෙන, දැවැන්තම මුද්දර ප්‍රදර්ශනය හා සල්පිල, "ලංකා ෆිලෙක්ස් 2011" නමින් පසුගිය 28 වෙනිදා කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වුණේ ශ්‍රී ලංකා මුද්දර එකතුකරන්නන්ගේ සංගමයේ සංවිධානයෙන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ සාදර අනුග්‍රහයෙන්.... මෙහි විශේෂත්වය වූයේ ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රදර්ශනයේ ආරම්භක දිනයේ දීම පැරණි මෝටර් රථ 04 ක් යොදා ගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ, මුද්දර කාර්යාංශය මගින් රු 5/- ක වටිනාකමකින් යුතු නව තැපැල් මුද්දර 04 ක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබීමයි.... ඊට අදාළ මුල්දින කවරය ද එදිනම ගරු විෂය භාර අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේදීම නිකුත් කරන්නට යෙදිණ... (මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ලිපියක් පසුව පළවනු ඇත.)

එසේ ම 33 වෙනි විය සපුරන ශ්‍රි ලංකා මුද්දර එකතු කරන්නන්ගේ සංගමය ද, ඒ වෙනුවෙන් විශේෂ සමරු කවරයක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබුණා... (මෙම සමරු කවර නිකුතුව කවර 330 කට පමණක් සීමා කර තිබීම විශේෂයෙන්ම කැපී පෙනෙන සිදු වීමකි.)

විශේෂයෙන් මෙවැනි අවස්ථා අත්නොහරින හෙයින් මම ද ඉතා උද්යෝගයෙන් යුතු ව ඒ සඳහා සහභාගී වූයෙමි...මෙහිදි පෞද්ගලික මුද්දර එකතු කරන්නන් රැසකුත් මුද්දර අළෙවිකරුවන් රැසකුත් දැන හඳුනාගන්නට ලැබීම විශේෂයන් සිහිපත් කරන්නට කැමැත්තෙමි. මෙවැනි දැන හැඳුනුම්කම් මුද්දර එකතු කරන්නන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් ය... ප්‍රදර්ශනයේ පළමු දිනයෙන් පමණක් නොනැවතී විශේෂයෙන් ම දෙවැනි දිනයේදීත් ඊට සහභාගී වීමට මා පොළඹවනු ලැබුවේ එහි වැඩසටහන් පෙළගැස්මයි... මහජනතාවට මුද්දර මිලදී ගැනීමට වගේම මුද්දර විනෝදාංශය ගැන දැනුවත් වීමටත් මෙහිදි අවස්ථාව සලසා තිබුණා... විශේෂයෙන් වියත් දේශන, මුද්දර වෙන්දේසි ආදිය ද සංවිධානය කරන්නට සංවිධායකයන් කටයුතු කර තිබීම කාගෙත් පැසසුමට ලක් වූ බව සඳහන් කළ යුතුයි...

ශ්‍රී ලංකා මුද්දර එකතු කරන්නන්ගේ සංගමයත්, තැපැල් දෙපාර්තමේන්තුවත් එකට එක්ව පවත්වන්නට යෙදුන මෙම ප්‍රදර්ශනයේදි මුද්දර කාර්යාංශයද සිය සුපුරුදු සේවාවන් දියත් කර තිබෙනු දැක ගත හැකි වුණා... වෙනදා සතියේ දින වලදී පමණක් විවෘතව තබන ජාතික තැපැල් කෞතුකාගාරය හා මුද්දර ප්‍රදර්ශනාගාරය මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන තෙදින පුරාම විවෘතව තැබීමට ඔවුන් පියවර ගෙන තිබුණා.... එසේම මුද්දර කාර්යාංශයෙන් සැපයෙන විශේෂිත සේවයක් වන පුද්ගල රුචිකත්වය අනුව විනාඩි 5 කටත් අඩු කාලයකදි රුපියල් 500/- වැනි මුදලකට තමන්ගේම මුද්දර 6 ක් අඩංගු භාවිතය සඳහා වලංගු මුද්දර පත්‍රිකාවක් නිර්මාණය කර ගැනීමේ පහසුකම මෙවරද සලසා තිබුණා...

සන්සරසිදු වෙනුවෙන් වන සමරු මුද්දරය බිහි වන්නේ ඒ අනුවය..... :D

අංකුර මුද්දර නිර්මාණ ශිල්පී ඉසුරු චතුරංග මිතුරා අතින් එවෙලේම නිමැවෙන සන්සරසිදුගේ ආලේඛ්‍ය චිත්‍රයක් මෙසේ මුද්දරයක් බවට පත්වන්නේ මුද්දර කාර්යාංශ විශේෂ කවුළුවේදි ය....

අවශ්‍ය නම් එවේලේ ම ගන්නා ලද ක්ෂණික ඡායාරූපයක් යොදාගනිමින් මෙවැනි පුද්ගල රුචිකත්වයට සරිලන පරිද්දෙන් මුද්දර නිර්මාණය කර ගැනීමේ හැකියාව ඇතත්, උඩුගං බලා පිහිනන්නට නිතරම වාගේ මා මෙහෙයවන මගේ සිතට අවනත වෙන්නට මට සිදු විය... මගේ හා ඉසුරුගෙ මුණගැසීම ද අරුමයකි... මගේ ආලේඛ්‍ය චිත්‍රයක් ඇඳ දෙන්නට ඔහු දැක්වූ කැමැත්ත ඊටත් වඩා වැඩි අරුමයකි.... අවසානයේ ඔහු සිය ප්‍රතිභාවට දෙස් දෙන්නට මෙන් මගේ සිත පහන් කරමින් අපූරු ආලේඛ්‍ය චිත්‍රයක් මා අත තැබීය... අඩහෝරාවක් තිස්සේ එකම ඉරියව්වකින් සිටින්නට සිදුවීමේ අපහසුව කොහෙන් ගියාද නැත... මගේ සිතට කවර කලෙකවත් නොආ අන්දමේ අමන්දානන්දයක් දැනිණ... ඉන්පසු මුද්දර කාර්යාංශ කවුළුවේදි පරිගණකයට ඇතුල් කරගත් එම ආලේඛ්‍ය චිත්‍රය ප්‍රින්ටරයෙන් පිටතට ආවේ ඒ අමන්දානන්දය දෙගුණ තෙගුණ කරමිනි....


අඩහෝරාවක් තිස්සේ නොසෙල්වි සිටින්නට ලද දඬුවම


පැන්සල් තුඩට ඉසිඹුලන්නට අවසරයක් නැත


ආලේඛ්‍ය සිතුවමට පණ දෙන ඉසුරු



ස්කෑනරයෙන් ප්‍රින්ටරයට


නැගී එන මුද්දර නිර්මාණ ශිල්පියෙකු වන ඉසුරු ප්‍රතිභාපූර්ණ තරුණයෙකි. 2011/10/14 දින නිකුත් කරන්නට යෙදුණ ඩඩ්ලි සේනානායක ජන්ම ශත සංවත්සර මුද්දරය ඔහුගේ මංගල මුද්දර නිර්මාණයයි.... පැහැබර අනාගතයකට හිමිකම් කියන ඔහු ගැන කියන්නට වෙනම ලිපියක් ලියන්නට අවැසි වෙයි... එහෙත් තවම ඊට කල් වැඩිය... එහෙයින් ක්ෂේත්‍රය තුළ තවත් ටික දුරක් යන්නට, ඔහුට ඉඩ හරිමි... එතෙක් ඔහුටත්, වෙසෙසින් ම අපට නන් අයුරින් සහය වූ ජාතික තැපැල් කෞතුකාගාරයේ අකිල සම්පත් මහතාටත් අපගේ නොවක් ස්තූතිය පිරිනමන්නට මෙය අවස්ථාවක් කර ගනිමි...

30 වැනි දා ප්‍රදර්ශනයේ අවසාන දිනයයි...

දිනයට නියමිත වැඩසටහන් පෙළගැස්ම ….

උදෑසන 9.00 - ප්‍රදර්ශනයේ ආරම්භය

පෙ.ව. 11.00 සිට 12.00 – දේශනය ( තේමානූකුලව මුද්දර එකතු කිරීම )

ප. ව. 3.30 – ත්‍යාග ප්‍රදානෝත්සවය ( ප්‍රදර්ශනය වෙනුවෙන් පවත්වන ලද මුද්දර ප්‍රදර්ශක තරඟාවලියේ)

ප. ව. 7.00 – ප්‍රදර්ශනයේ නිමාව...


>>> Coming Up Next >>>
ලංකා ෆිලෙක්ස් 2011 - පසුවිපරම

Sunday, January 2, 2011

ඕවා අපිට කැප නෑ !!!

Image: Francesco Marino / FreeDigitalPhotos.net

මෑත දිනක මගේ මිතුරන් කිහිපදෙනෙකු සමඟ කතාබහක යෙදී ඉන්නා නිදහස් මොහොතක හදිසියෙන් මෙන් සිහිපත් වූ යමක් ඔවුන් වෙතින් විමසුවෙමි.

“මචං උඹල ගාව නැද්ද මුද්දර …???”

“මුද්දර...???”
පිළිතුරක් වෙනුවට ලැබුණේ ප්‍රශ්නාර්ථයකි.

“හෑහ්.. උඹ තාම මුද්දර එකතු කරනවාද ? ෂික් ලැජ්ජ නැද්ද බං... පොඩි එකෙක් වගේ මුද්දර එකතු කරන්න...??”
මගේ එක් මිත්‍රයෙක් මදෙස බලා අවඥාසහගතව සිනහසෙයි.

මම මොහොතක් ඔහු දෙස බලා සිටියෙමි. ඔහුගේ නොදැනුවත්කම ගැන සිතා සිනහසෙනවාද නැත්නම් අවඥාව ඉදිරියේ කේන්ති ගන්නවාදැයි මට සිතාගත නොහැකි විය. එහෙත් තවත් එතැන රැඳී සිටින්නට අපහසු බවක් දැනුනෙන් හිඳ හුන් තැනින් නැගී සිටියෙමි. මොකුත්ම නොකියා ඉවතට යන්නට සිත් නොදුන්නෙන් යන්නට ගිය ගමන නවතා මගේ මිතුරා දෙසට හැරී මෙසේ පැවසුවෙමි.

“Machan, Stamp collecting is a hobby of Kings and The King of all hobbies. It's not only for children.”

ඉන් පසු ඔවුන් මොනවා පැවසුවාදැයි මා නොදන්නේ තවත් එතැන නොසිට ඉවතට ගිය බැවිනි. එදා ම'සිතේ හට ගත්තේ සියුම් කලකිරීමකි. පුංචි ලංකාව තුළ ලොව අග්‍රගණ්‍ය විනෝදාංශය වෙත ඇති මෙවැනි ආකල්ප ගැන සිහිවන හැමවිටම මුවඟින් සුසුමක් ගිලිහෙන්නේ නිරායාසයෙනි.

මට හදිසියේම සිහිපත් වූයේ කලකට ඉහත එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වූ කුමර කුමරියෝ වැඩසටහනකි. ඊට සහභාගී වීම සඳහා ඉතා දුර බැහැර ප්‍රදේශ වල සිට පවා තරුණ තරුණියන් පැමිණෙන බව පෙනෙන්නට තිබිණ. එම වැඩසටහන අතර තුර නම ගම හැරෙන්නට නිතරම වාගේ විමසන පැනයක් වූයේ “ඔබේ විනෝදාංශ මොනවාද ?” යන්නයි. අසන්නට ලැබුණු පිළිතුරු අතර වැඩිපුරම වාගේ අසන්නට ලැබුණේ “මුද්දර එකතු කිරීම” යන පිළිතුරයි. වෙනකක් තබා පාසල් යන වයසේ දරු දැරියන්ගෙන් වුවත් ඔබේ විනෝදාංශ මොනවාදැයි විමසුවහොත් මුලටම ලැබෙන පිළිතුර මුද්දර එකතු කිරිම යන්නයි. එහෙත් මෙලෙස පිළිතුරු දෙන සැවොම සැබෑ ලෙසම මුද්දර එකතු කරනවාදැයි විමසා බැලීම වටී. කොහෙන් හෝ හොයාගත් කොටු රූල් පොතක් පිරෙන්නට පාප්ප හෝ ගම් ගෑ මුද්දර, බුරුතු පිටින් අලවා එයට මුද්දර පොත යැයි කියන අපි හැබෑවටම මුද්දර එකතු කිරීම ගැන දන්නේ මොනවාද ? මේ සම්බන්ධයෙන් සමාජය ප්‍රමාණවත් පරිදි දැනුවත් ව සිටිනවාද ? මේ පුංචි රටේ සැබෑවටම මුද්දර එකතු කිරීම ගැන උනන්දුවක් දක්වන්නෙකුට ප්‍රමාණවත් පරිදි පහසුකම් ලැබෙනවාද ? මේවා පිළිතුරු නැති ප්‍රශ්න සමූහයක් පමණකි.

පාසැල් වියේදී මුද්දර සමාජ කිහිපයකම සාමාජිකයෙකුව සිට ලත් අත්දැකීම් අනුසාරයෙන් සකසා ගත් හින්ජ(ර්)ස් (Stamp Hingers) මගින් මුද්දර රඳවා තබන වීරෝදාර මුද්දර සුරුකුම් පොතක් තවමත් මා වෙත ඉතිරිව තිබේ. හිතෙන හිතෙන හැටියට වියදම් කර මුද්දර පොත් රැගෙන දෙන්නට මගේ පියාට වත්කමක් නොවුණු ඒ කාලයේ ඒ එකම මුද්දර පොත මට මහානර්ඝ වස්තුවක්ම විය. පසු ගිය දිනෙක පොත් ලාච්චුවක් අවුස්සද්දි ඉතා සුරැකිව තබා තිබුණු ඒ අනර්ඝ වස්තුව නැවතත් මගේ දෑතට පත් විය. කාලයේ වැලි තලාවට යට වී තිබුණු මුද්දරවලට බැඳි ආදරය නැවතත් පණ ලබන්නට විය. තවත් එවැනි මුද්දර සුරැකුම් පොත් කිහිපයක් මිලට ගැනීමේ අදහසින් දින කිහිපයකට පෙර පොත් සාප්පු කිහිපයකම කරක් ගැසුවෙමි. අවාසනාවක මහත. ඒ හැම එකකම මුද්දර සුරැකුම් පොත් (Stamp Albums) කියා විකුණන්නට ඇත්තේ මුද්දර රැඳවුම් පොත් (Stamp Stock Books)ය. පළපුරුදු මුද්දර එකතු කරන්නන්ට අවශ්‍ය කරන අනෙකුත් ආම්පන්න වන මුද්දර අඬු (Stamp Tweezers/Tongs), මුද්දර රඳවන (Hingers), තීරූ රඳවන(Mounts), විශාලක කාච (Magnifiers & Loupes), විදමන් ආමානය (Perforation Gauge), වර්ණ දර්ශකය (Colour Guide), දියසලකුණු දර්ශකය (Watermark Detectors), පාරජම්බුල පහන් (Ultraviolet Lamps) ආදීය සොයාගන්නට ඇති අපහසුව ගැන කියනුම කවරේද? මුද්දර අඬුවක් සොයා ගන්නට බැරිම තැන එය eBay හරහා ගෙන්වා ගන්නට මට සිදු විය. eBay හරහා සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගත හැකි වුවද දරන්නට සිදුවන තැපැල් ගාස්තුව ගැන සිතීමේදි එය එතරම් වටින්නේ නැත. අනෙක් අතට බොහෝ eBay වෙළෙඳුන් මේ පුංචි රටට භාණ්ඩ එවන්නේද නැත. මට අවශ්‍ය මුද්දර සුරැකුම් පොත් ගැන eBay හරහා සෝදිසි කර බැලුවෙමි. මිල සාධාරණ වුවද ගෙවන්නට සිදුවන තැපැල් ගාස්තුව දුටු විට ඊට ඇති ආශාව අත්හැර ගතිමි. තැපැල් ගාස්තුව භාණ්ඩයේ මිල මෙන් තුන් ගුණයකට ආසන්නය. වෙනත් රටවල මුද්දර එකතු කරන්නන්ට නම් වැඩි අපහසුවකින් තොරවම අවශ්‍ය ආම්පන්න මෙන්ම විවිධාකාරයේ මුද්දර සුරැකුම් පොත් වර්ග ද ලබා ගැනීමේ වරම හිමි වී තිබේ. එනයින් ගත් කළ ශ්‍රී ලාංකික මුද්දර එකතු කරන්නන්ගේ තත්වය සැබවින්ම කණගාටුදායක ය.

අහම්බයෙන් වාගේ මට, ශ්‍රී ලංකා තැපැලෙහි (Sri Lanka Post) වෙබ් අඩවියට පිවිසෙන්නට ලැබුණේ මෙසේ මුද්දර සුරැකුම් පොත් ගැන සොයමින් අන්තර්ජාලය තුල සැරිසරමින් ඉන්නා අතරතුර ය. එමඟින් යොමුවුණු සබැඳියකින්, ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශයේ (Philatelic Bureau) අඩවියට පිවිසුණෙමි. ඔවුන්ගේ නිෂ්පාදිත ලැයිස්තුවෙහි මුද්දර සුරැකුම් පොත් ගැනද සඳහන් වූ බැවින් කෙසේ හෝ එහි යාමට ඉටා ගත්තෙමි. එහිදි දැන ගත් තවත් දෙයක් නිසා මගේ උද්යෝගය තවත් වැඩි විය. ජාතික තැපැල් කෞතුකාගාරය ද පිහිටා ඇත්තේ ඊට යාබදව ය.

දින 10 යේ වාර්ෂික නිවාඩුව ලබාගෙන මුද්දර කෞතුකාගාරය පැත්තේත් යායුතුයැයි සිතාගෙන සිටියෙමි. අවසානයේ කාර්යබහුල දවස් අහවර වෙන තුරු බලා සිටියේ පොඩි එකෙකු මෙන් ඇඟිලි ගනිමිනි. නිවාඩුව අනුමත විය. අන්තිමේ ගිය සිකුරාදා ශ්‍රී ලංකා තැපැල් මූලස්ථානය වෙත ගියේ කෞතුකාගාරයද නරඹා මුද්දර කාර්යාංශයට ගොස් මුද්දර සුරැකුම් පොතක් මිලට ගැනීමේ බලාපොරොත්තුවෙනි.

නවීන ගෘහ අලංකරණ ආදියෙන් සමන්විත ශ්‍රී ලංකා තැපෑලේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල තට්ටු කිහිපයකින් සමන්විත එකකි. ප්‍රධාන තැපැල් කාර්යාලය පිහිටියේ එහි පහත මාලයේය. තැපැල් කාර්යාලය ඇතුළත මුද්දර කාර්යාංශයේ වෙළඳ කවුළුවක් පවත්වාගෙන යන බව දැන ගන්නට ලැබුණෙන් පළමුව එහි පිවිසුණෙමි. සාම්ප්‍රදායික රාජ්‍ය සේවයේ ගති, නවීන මෙවලම් හා උපාංග පරයමින් මෙතැනත් විද්‍යමාන වෙයි. අවාසනාවක මහත. එහිද ඇත්තේ පොත් සාප්පුවල විකුණන්නට ඇති Stock Book එකම ය. එහෙත් අහම්ඹයෙන් මෙන් අගනා වස්තුවක් මනෙත ගැටිණ. ඒ 1948 – 2005 දක්වා ශ්‍රී ලංකාව තුළ නිකුත් කළ මුද්දරවල විස්තර අඩංගු මුද්දර නාමාවලියකි (Stamp Index). මුද්දර කාර්යාංශය විසින් ඉතා අගනා ලෙස මුද්‍රණය කර තිබුණු එය, රැපියල් දෙදහසකට මිල කර තිබුණද එහි ඇති වටිනාකම සලකා එයින් එකක් මිලදී ගත්තෙමි.


Image: FreeDigitalPhotos.net

කෞතුකාගාරයට පිවිසෙන දොරටුව ඇත්තේ ප්‍රධාන තැපැල් කාර්යාලයට වම් පසිනි. කෞතුකාගාරයට පිවිසීම සඳහා එම දොරටුවත් ඊට මදක් ඔබ්බෙන් ඇති මුද්දර කාර්යාංශයත් පසු කළ යුතුය. අවසානයේ බලාපොරොත්තු කඩ වූ සිතින් තැපැල් කෞතුකාගාරය නරඹන්නට ගියෙමි. ඇතුල්වීම සඳහා ටිකට් ලබාගැනිමක් අවශ්‍ය නොවුණි. මා කෞතුකාගාරයට ඇතුළුවත්දි එහි පාළුව රජයමින් තිබිණ. මා හැරෙන්නට වෙනත් කිසිදු නරඹන්නෙකු එහි නොවීය. එය එක් අතකින් මට නිදහසේ කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව උදා කර දීමක් විය. පැරණි දින මුද්‍රා වල සිට ශ්‍රි ලංකා තැපෑල හා සම්බන්ධ සෑම සියලු දෙයක් ම පාගේ එහි තැන්පත් කර තිබිණ. එහි ඉහත මාලය මුද්දර ප්‍රදර්ශනය කිරීම සඳහා වෙන් කර තිබේ. එහිදී හමු වූ අකිල මහතා මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය. ආයතන පරිශ්‍රයට ඇතුළු වූ මොහොතේ සිට කිහිපදෙනෙකුගෙන්ම විමසා වත් දැන ගන්නට නොහැකි වු කරුණු රැසක් මට ඔහුගෙන් දැන ගත හැකි විය. තවමත් වැඩි දෙනෙකුගේ නෙත ගැටී නැති ජාතික තැපැල් කෞතුකාගාරය කුඩා දරු දැරියන්ට මෙන්ම මුද්දර වලට ආදරය කරන කොයි කාටත් ඉතා වැදගත් වන බව නම් නිසැකය.

ජාතික තැපැල් කෞතුකාගාරයේ හා මුද්දර ප්‍රදර්ශනාගාරයේ ඡායරූප එකතුවක් පහත සබැඳිය ඔස්සේ නැරඹිය හැකිය.

ජාතික තැපැල් කෞතුකාගාරය සහ මුද්දර ප්‍රදර්ශනාගාරය – සේයාරූ එකතුව



>>> Coming Up Next >>>

මුද්දර එකතු කිරීම ගැන ගෙන එන ලිපි පෙළ...
මුද්දරයේ වංශ කතාව...