Pages

මුද්දර ලෝලියෙකුගේ අන්තර්ජාල සටහන …

අතිශයින්ම මුද්දර ලෝලීන් සඳහා පමණයි !
Showing posts with label අත්වැල. Show all posts
Showing posts with label අත්වැල. Show all posts

Monday, July 17, 2017

මුද්දර සපයා ගැනීම



කොහොම ද මුද්දර හොයා ගන්නේ ???

හොඳ ප්‍රශ්නයක්! 

මීට කලකට ඉහත පළවු ලිපියක් මගින් මුද්දරය පිළිබඳවත් හොඳ මුද්දර එකතුවක් ගොඩනගා ගැනීම පිළිබඳවත් අප විමසීමක් කළා. එහිදී මුද්දරය හඳුන්වන ඉංග්‍රීසී වදන වන "STAMP" යන්න අනුසාරයෙන් ඔබට මතක තබා ගන්නට පහසු වන ආකාරයට අප මේ ගැන කතා බහ කළ බව ඔබට මතක ඇති.  
    • S - Stamps
    • T - Tools
    • A - Albums
    • M - Mounts
    • P - Publications 

ඇත්තෙන්ම ඔබ මුද්දර රැස් කිරීම අරඹන්නට සිතන අයෙකු නම් පළමුවෙන් ම ඔබ විසින් කළ යුතු කාර්යය වන්නේ ඔබ එකතු කරන්නට යන්නේ මොනවාද යන්න පිළිබඳව තීරණයකට පැමිණීමයි.
ඔබ විසින් ගත යුතු පළමු මෙන්ම ඉතා වැදගත් ම තීරණය මෙයයි. 

  • රට රටවල් අනුව මුද්දර එකතු කරනවා ද ? ඔබ උපන් බිමේ මුද්දර එකතුවක් ගොඩ නගා ගන්නවා ද ? එසේත් නැතිනම් තේමා අනුව මුද්දර එකතු කරනවා ද ? 
  • අවලංගු කළ හෝ භාවිතා කළ මුද්දර එකතු කරනවා ද ? එසේත් නැත්නම් අවලංගු නොකළ මුද්‍රිත තත්ත්වයේ මුද්දර එකතු කරනවා ද ? 
  • මුද්දර පමණක් එකතු කරනවා ද ? එසේත් නැතිනම් මුද්දර ආශ්‍රිත අනෙකුත් අයිතමත් (උදා: සිහිවටන පත්‍රිකා / මුල්දින කවර/ තැපැල් පත් ආදිය) එකතු කරනවා ද ?
යන්න මෙහිදී ඔබට තීරණය කිරිමට සිදු වනු ඇති. 

ඒ සඳහා ඔබට දැරිය හැකි / වියදම් කළ හැකි මුදල පිළිබඳවත් අවධානය යොමු කිරිම වැදගත්. මන්ද යත් ඔබ ගන්නා තීරණය එතැන් සිට හෝ ඉන් පසුව හෝ නැත්නම් ඍජුවම හෝ වක්‍ර ව හෝ ඔබේ මුදල් පසුම්බිය මත බලපාන බැවිනි. 

හොඳ මුද්දර එකතුවක් තබා සාමාන්‍ය මුද්දර එකතුවක් වත් ගොඩ නගා ගන්නේ කොහොම ද මුද්දර (*මෙහිදී මුද්දරය යන්න යෙදෙන්නේ ඒ ආශ්‍රිත ද්‍රව්‍ය ද ඇතුළුව බව සලකන්න) නැතිව....? විනෝදාංශය අරඹන ආධුනිකයන් පළමුවෙන් ම මුහුණ දෙන ගැටළුව මෙයයි.  

සැබෑවටම විනෝදාංශයේ ආධුනිකයනට පමණක් නොව අප බොහෝ දෙනෙකුට ද ගැටළුවක් ව ඇත්තේ මුද්දර එකතු කර ගැනීමේ මාර්ග සොයා ගැනීම පිළිබඳවයි...  අද අප ඒ පිළිබඳව සොයා බලමු.

මෙහිදී මුලින් ම අපට සරල පියවර කිහිපයක් අනුගමනය කළ හැකියි...

  1. ඔබේ නිවසට ලැබෙන ලිපි මත ඇති මුද්දර/ සිහිවටන පත්‍රිකා පළමු පියවර වශයෙන් ඔබේ එකතුවට එක් කර ගත හැකියි...
  2. ඔබේ නෑ හිත මිතුරන් දැනුවත් කොට ඔවුනට ලැබෙන ලිපිවල අලවා එවන මුද්දර ඔබ වෙනුවෙන් ඉතිරි කර ගන්නට ඔවුන් පොළඹවා ගත හැකියි... (නමුත් මෙහිදී මුද්දර ලිපිකවර වලින් ගලවා ගන්නා ආකාරය ගැන ඔවුන් දැනුවත් කර තැබීමට ඔබට සිදු වනු ඇත. නැතහොත් ඔබට ලැබෙනු ඇත්තේ ඉවත ලෑමට සිදු වන තත්ත්වයේ ඉරුණු හෝ පළුදු වුණු මුද්දර වීමේ හැකියාව ඉතා ඉහළය.)
  3. හුවමාරු කර ගැනීමෙන්... ඔබ වැනිම මුද්දර එකතු කරන ඔබේ හිත මිතුරන් සමඟ, ඔබ ළඟ වැඩිපුර ඇති මුද්දර ඔබ ළඟ නොමැති මුද්දර වෙනුවෙන් හුවමාරු කර ගත හැකියි... හුවමාරුව මුද්දර එකතු කරන්නන් විසින් පුරුදු පුහුණු කර ගත යුතු ඉතා හොඳ ගුණාංගයක් බවත් මතක තබා ගන්න...
  4. මුද්දර සමාජයක සාමාජිකත්වය ලබාගෙන ඒ මගින් මුද්දර මිලදී ගත හැකියි...
  5. එසේම මුද්දර කාර්යාංශයේ ස්ථාවර ඇණවුම් ගිණුමක් (Standing Order Deposit Account), අරඹා අපේ රටේ නිකුත් කරන මුද්දර, මුල්දින කවර, සිහිවටන පත්‍රිකා ආදිය ඔබේ නිවසටම ගෙන්වා ගත හැකියි.... අවම වශයෙන් රුපියල් 500/- ක මුදලකින් මෙවැනි ගිණුමක් ඇරඹිය හැකිය. ඒ හැරෙන්නට අනියම් ඇණවුමක් (Casual Order) මාර්ගයෙන් ද ඔබට අවශ්‍ය අයිතම මිලදී ගැනීමේ හැකියාවක් පවතී. 
    (වැඩි විස්තර සඳහා - අධ්‍යක්ෂ, මුද්දර කාර්යාංශය, තැපැල් මූලස්ථානය, 310,  ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 01000 යන ලිපිනයෙන් හෝ 011 4927248 සහ 011 2328301 Ex 158, 166 යන දුරකථන අංක ඔස්සේ මුද්දර කාර්යාංශය අමතන්න. විද්යුත් ලිපින slpostpb@gmail.com හෝ  stamps.info@slpost.lk) මුහුණු පොත 
    Philatelic Bureau - Sri Lanka Official
  6. මුද්දර වෙළඳුන්ගෙන් මුද්දර මිලදී ගත හැකියි... (අප රටේ ප්‍රධාන පාසල් ගණනාවක් අසළ පාසැල් අවසන් වන වේලාවට මෙවැනි මුද්දර වෙළඳුන් දැක ගත හැකියි... අවශ්‍ය නම් මුද්දර කාර්යාංශයෙන් ද මෙවැනි මුද්දර වෙළඳුන් ගැන තොරතුරු ලබා ගත හැකියි... මා සතුවද එවැනි කිහිප දෙනෙකුගේ ලිපිනයන් සහ දුරකතන අංක ඇත. අවශ්‍ය අයෙක් වේ නම් විද්යුත් ලිපියකින් විමසන්න.. sansarasidu@gmail.com)
  7. අන්තර්ජාලය හරහා ද මුද්දර මිලදී ගත හැකියි... (උදා: eBay, Delcampe)

පළමු ක්‍රම තුන මගින් අපට ප්‍රමාණවත් තරම් මුද්දර එකතු කර ගත නොහැකි නම් ඊළඟට ඇත්තේ යම් මුදලක් වැය කිරිමට සිදුවන ක්‍රම වීම වැළැක්විය නොහැකිය.

එහෙත් මෙහිදී ඔබට යම් යම් කාරණා කිහිපයක් මතක් කර දෙන්නට කැමැත්තෙමි. 

ඔබ තෝරාගෙන ඇත්තේ තම උපන් බිමේ අවලංගු නොකළ මුද්දර, සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර එකතු කිරීමට නම් පළමුව පසුගිය අවුරුදු 3 ක හෝ 4 ක අයිතම පිළිබඳව සැලකිලිමත් වන්න. මේවා ඉතා පහසුවෙන් මුහුණත වටිනාකමට ම (Face Value) මුද්දර කාර්යාංශයෙන් හෝ එහි ප්‍රාදේශිය ශාඛාවන්ගෙන් හෝ ලබා ගත හැකි ය. උදාහරණයක් වශයෙන් ගත හොත් ඔබට අද වන විට තවමත් 2014 වර්ෂයට අදාළ අයිතම (තොග වල තත්ත්වය මත) මුද්දර කාර්යාංශයෙන් මිල දී ගත හැකිය. නමුත් 2013 හෝ ඊට පෙර වර්ෂවල අයිතම, තොග පැවතිය ද විකිණීම අත්හිටුවා අැති බැවින් මිල දී ගත නොහැකිය.

මෙසේ පසුගිය වසර කිහිපයේ අයිතම රැස්කර ගත් පසුව, ඔබට ටිකෙන් ටික ආපස්සට යමින් ඔබේ එකතුවට පෙර වසර වල අයිතම එක් කර ගත හැකිය. එහෙත් එහිදී ඔබ මුහුණ පාන අනෙක් ගැටළුවක් තිබේ. ඒ මුද්දර කාර්යාංශයෙන් විකිණීම නවත්වා ඇති අයිතම ලබා ගැනීම පිළිබඳවයි. 
මේ සඳහා ඔබට මුද්දර වෙළෙඳුන්ගේ හෝ පෞද්ගලික මුද්දර එකතු කරන්නන්ගේ සහය ලබා ගැනීමට සිදු වීම වැළැක්විය නොහැකිය. මන් ද ඔවුන් මේවා තොග වශයෙන් හෝ සීමිත ප්‍රමාණ වලින් තම සන්තකයේ තබා ගෙන සිටින බැවිනි.     

මුද්දර වෙළෙඳුන් හෝ පුද්ගලික මුද්දර එකතු කරන්නන් හමු විය හැකි ලෙහෙසිම මාර්ගය නම් මුද්දර කාර්යාංශය සංවිධානය කරන මුද්දර සල්පිළ් සඳහා සහභාගි වීමය. මේවා බොහෝවිට කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත් වේ. මේ වසර තුළ පැවැත්වීමට නියම්ත මීළඟ මුද්දර පොළ සඳහා මේ වන විට ද මුද්දර කාර්යාංශය මගින් දින නියම කර තිබේ.



මුද්දර කාර්යාංශය හැරෙන්නට ශ්‍රී ලංකා නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමයත් (SLIPA - SRI LANKA INDEPENDENT PHILATELIST'S  ASSOCIATION) , පෞද්ගලික මුද්දර එකතු කරන්නන්
 කිහිප දෙනෙක් විසින් හවුල් වීමෙන් ද මෙසේ මුද්දර සල්පිල් සංවිධානය කරනු ලබයි. මෙම සල්පිළ් බොහෝ විට කොළඹ, මහජන පුස්තකාල ප්‍රදර්ශන ශාලාවේදි පැවැත් වේ. 
මෙවැනි මුද්දර සල්පිල් පිළිබඳ තොරතුරු කලින් කලට මුහුණුපො‍තේ අප විසින් පවත්වාගෙන යන මිතුරු හවල් පිටුවල (Facebook Group Page) පළ වේ. අප සමඟ එක් වීමෙන් ඔබට ද ඒ පිළිබඳව දැනුවත් විය හැකිය.

e Philatelists | මුද්දර ලෝලියෝ 



මා ඔබට ලබාදෙන උපදෙස නම් පළමුව මුද්දර මිල දි ගැනීම සඳහා නොව යම් දැනුමක් ලබා ගැනිම සඳහා මේවාට සහභාගී වන ලෙසය. එමගින් විවිධ වෙළෙඳුන් දැන හඳුනා ගැනීමටත්, ඔවුන් එකිනෙකා එකම අයිතමය සපයනු ලබන විවිධ මිල ගණන් පිළිබඳවත් ඔබට වැටහීමක් ලබා ගත හැකි වන අතර ඔබ දුක් මහන්සියෙන් උපයාගත් මුදල් නිකරුණේ පූජා නොකර අවම සහ සාධාරණ මුදලකට ඒවා මිලදී ගන්නටත් ඔබට හැකි වනු ඇත. 

මුද්දර වෙළෙඳපොළේ මුද්දර මිල ගණන් තීරණය වනුයේ ඉල්ලුම සහ සැපයුම අනුවය. එසේත් නැතිනම් Stanley Gibbons හෝ Scott මුද්දර නාමාවලී ඒවාට ලබා දී ඇති වටිනාකම් අනුව ය. ඒ හැරෙන්නට අයිතම වල තත්ත්වය (Condition) අනුව ද මේවායේ මිල ගණන් එහා මෙහා වීම සිදු වේ. 

ඒ කෙසේ වුවද ඇතැම් මුද්දර වෙළෙඳුන් හා පුද්ගලික එකතු කරන්නන් තම හිතු මතයේ අයිතම අළෙවි කරන තත්ත්වයන් ද දැක ගත හැකි බැවින් මේවායෙන් ප්‍රවේශම් වීමට නම් ඔබ අනිවාර්යයෙන්ම තමන්ට අවශ්‍ය කරන අයිතම පිළිබඳව මනා ලෙස දැනුවත් ව සිටිම අවශ්‍ය වේ. එය ඔබ මේ විනෝදාංශය කෙරෙහි දක්වන උනන්දුව මත තීරණය වන්නකි. 
අන්තර්ජාලය හරහා මුද්දර මිල දී ගැනීමේදි ද මේ දැනුවත්භාවය අත්‍යන්තයෙන්ම වැදගත් වේ. මුද්දර සඳහා ඔබ ගෙවන මුදල සාධාරණීකරණය වනුයේ එමගිනි. 


ඔබේ එකතුව වර්ධනය කර ගැනීමට ඔබට එක්කෝ "කාලය" තිබිය යුතු ය. නැත්නම් "යහමින් මුදල් හදල්" 
තිබිය යුතු ය.

ඔබේ අවශ්‍යතාවය ඉතා ඉක්මනින් ඉතා විශාල මුද්දර එකතුවක් ගොඩ නගා ගැනීම නම් ඒ සඳහා ඔබ ඉතා විශාල ආදායමක් ලබන ධනපතියෙකු විය යුතු ය. නොඑසේ නම් ඉතා සෙමින් ගමනක් යමින් ඔබේ මුද්දර එකතුව වර්ධනය කර ගැනීමේ අවස්ථාව ද ඔබට හිමි ය. මෙම අන්ත දෙක අතර තුලනය මුද්දර එකතු කරන්නෙකු වශයෙන් ඔබගේ ඉදිරි ගමන තීරණය කරනු ඇත. 


Thursday, January 20, 2011

මුද්දර ඒවාට හානි නොවන අයුරින් ලියුම් කවරවලින් ගලවා ගන්නේ කෙසේද ?


Image : Universal Postal Union (UPU)


තමන්ගේ මුද්දර එකතුව වර්ධනය කර ගැනීම සඳහා මුද්දර සපයා ගත හැකි විවිධ ක්‍රම පිළිබඳව මීට පෙර ලිපියෙහි මා සඳහන් කළා ඔබට මතක ඇති.... මුදල් වියදම් නොකර වගේම, යම් මුදලක් වියදම් කිරීමෙනුත් මෙසේ මුද්දර සපයා ගත හැකි ක්‍රම පිළිබඳව මා එහිදි කතාබහට ලක් කළා... ඇතැම් විට මෙසේ ඔබ මිලදී ගන්නා මුද්දර නම් කෙළින්ම ඔබේ සුරැකුම් පොතට ඇතුළත් කර ගත හැකි ආකාරයෙන් (Off Paper) පවතිනවා.... එහෙත් මෙසේ ඔබ මිලදී ගන්නා වගේම ඔබ විසින් සපයා ගන්නා ඇතැම් මුද්දර, (On Paper Stamps) ඔබේ සුරැකුම් පොතට ඇතුළත් කර ගැනීමට පෙර ඊට සුදුසු තත්වයට පත් කර ගත යුතු වෙනවා...

ඒ ගැන කතා කිරීමට මත්තෙන් පුංචි මතක් කිරීමක් කරන්නට කැමතියි... තැපැල් කටයුතු සඳහා භාවිතා කරන ලද මුද්දර, ඒවා අලවා ඇති ලියුම් කවර වලින් ගලවා ගැනීමේදී බෙහෙවින් ප්‍රවේශම් විය යුතුයි.... ඇතැම් අය කිසිදු වග විභාගයකින් තොරව ලියුම් කවරයේ තිබියදීම මුද්දරය ගලවා ගන්නට උත්සහ දරනවා... මෙය කිසි සේත් නොකළ යුතු දෙයක්.... මෙසේ ලියුම් කවරයෙන් මුද්දරය ඇද ඉවත් කර ගැනීමට යාමෙන් මුද්දරය, අප පෙර ලිපියේදී සඳහන් කළ ආකාරයට ඔබේ මුද්දර එකතුව අහළකටවත් ගැනීමට නුසුදුසු තත්වයට පත් වෙනවා.... කොටින්ම කිව්වොත් මෙසේ කිරීමෙන් මුද්දරයට දැඩි ලෙස හානි සිදු විය හැකියි.... සෑම විටම ලියුම් කවරයකින් මුද්දරය වෙන් කර ගත යුත්තේ, මුද්දරය වටා ඇති කඩදාසියත් සමඟ එය කපා ඉවත් කර ගැනීමෙන්...


මේවා On Paper Stamps කියා හඳුන්වනවා....

එසේම යම් වැදගත්කමක් සහිත, විශේෂිත මුද්‍රාවකින් අවලංගු කරන ලද කවර හමුවුවහොත් ඒවා ඒ අයුරින්ම නොකපා තබා ගන්නට ප්‍රවේශම් වන්න... මන්ද යත් එවැනි විශේෂිත මුද්‍රා එහි අලවා ඇති මුද්දරයට වඩා වැඩි වැදගත් කමක් උසුලන බැවිනි... විශේෂයෙන් ඔබ, නෑ හිත මිතුරන් මාර්ගයෙන් මුද්දර එකතු කර ගන්නවා නම් මේ ගැන ඔවුන් දැනුවත් කර තබන්න... නැත්නම් ඔවුන් විසින් අවසානයේ ඔබ වෙත එවන්නේ ඉවත ලෑමට සිදු වන ආකාරයේ මුද්දර වීමට බෙහෙවින් ඉඩ ඇත...

මෙම අලවා ඇති කඩදාසි කොටස් සමඟින් ඇති මුද්දර, කෙළින්ම ඔබේ මුද්දර එකතුවට එක් කර ගත නොහැකියි... ඒ සඳහා මෙම කඩදාසි කොටස් ඉවත් කර මුද්දරය ඊට සුදානම් කර ගත යුතු වෙනවා.... මෙසේ කඩදාසියෙන් මුද්දරය වෙන් කර ගැනීම සඳහා භාවිතා කළ හැකි "දියර වර්ග" වෙළඳපොළෙන් මිලදී ගත හැකියි....


එහෙත් ඒතරම් දුර නොයා ඉතා සරලව මේ කටයුත්ත කර ගත හැකියි.. ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ වතුර පිරවු භාජනයක් සහ වතුර උරා ගන්නා කඩදාසි කිහිපයක් (පෙරහන් කඩදාසි) පමණයි...

ඔබ මුද්දර සමඟ කටයුතු කරන හැම අවස්ථාවකම විශේෂයෙන් සිහි තබා ගත යතු කරුණ නම්, නිතරම ඔබේ දෑත් පිරිසිදුව තබා ගැනීමට අමතක නොකිරීමයි !

මෙසේ කඩදාසි පිටින් කපා ගත් මුද්දර, ප්‍රමාණවත් තරම් ජලය පුරවා ගත් භාජනයකට දමා කඩදාසි පෙඟෙන්නට ප්‍රමාණවත් තරම් කාලයක් ඒ තුළ තිබෙන්නට හරින්න...


එවිට මුද්දරවල පසුපස ඇති මැලියම් දිය වී මුද්දර පහසුවෙන් කඩදාසි වලින් ඉවත් වෙයි... මෙම කටයුත්ත ද ඉතා ඉවසීමෙන් කළ යතු අතර ආයාසයෙන් මුද්දර කඩදාසි කැබලි වලින් වෙන් කර ගැනීමට උත්සාහ නොකළ යුතුය... යම් මුද්දරයක් මෙසේ පහසුවෙන් කඩදාසි කැබලි වලින් ඉවත් නොවේ නම් ඒවා ආයාසයෙන් වෙන් කිරීමට උත්සහ නොගෙන තවත් කාලයක් ජලයේ පෙඟෙන්නට හැරීමෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකි වනු ඇත... එසේම ඇතැම් ඝනකම් කඩදාසිවල අලවා ඇති මුද්දර ගලවා ගැනීමට නම් මදක් උණුසම් ජලය පාවිච්චි කිරීමට සිදුවනු ඇත... විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව ආදී රටවලින් මෑතක සිට හඳුන්වා දී ඇති “ඇලෙන සුළු මුද්දර” (Self Adhesive Stamps) ඒවා අලවා ඇති කඩදාසිවලින් වෙන් කර ගැනීමට යාමේදි ඇල් ජලය වෙනුවට මදක් උණුසුම් ජලය පාවිච්චියෙන් හොඳ ප්‍රතිඵල නෙලා ගත හැකි බව මට අත්දැකීමෙන්ම පසක් කර ගත හැකි විය... මෙසේ ජලයේ පොඟවා මුද්දර වෙන් කර ගැනීමේදී මතක තබා ගත යුතු අනෙක් කරුණ නම්, පාට කඩදාසි මත ඇති මුද්දර සෙසු මුද්දර සමඟ මුසු නොකිරීමට වග බලා ගැනීමයි... විශේෂයෙන් නත්තල වැනි විශේෂ උත්සව අවස්ථා වෙනුවෙන් ලැබෙන විවිධ වර්ණයෙන් යුතු (වැඩිමනත්ම රතු පැහැයෙන් යුතු) ලිපිකවර මත ඇති මුද්දර මෙසේ අනෙක් මුද්දර හා මුසු කර ජලයේ පෙඟෙන්නට ඉඩ හැරීමෙන් කඩදාසියේ ඇති වර්ණ ජලයේ දියවී අනෙකුත් මුද්දරවලටත් පැතිරීම නිසා එම මුද්දර සියල්ලම ඉවත ලෑමට සිදු වනු ඇත... වරෙක, මටත් මේ අමිහිරි අත්දැකීම විඳගන්නට සිදු වුයේ සුලු නොසැලකිලිමත් කමක් නිසාවෙනි...

මුද්දර පහසුවෙන් කඩදාසි කැබලිවලින් වෙන් කර ගත් පසු ඒවා ජල භාජනයේ තිබියදීම, ඇඟිලි තුඩු වලින් මුද්දරවල පසුපස සෙමෙන් පිරිමදිමින් ඒවායේ රැඳී ඇති අමතර මැලියම් පවා ඉවත් කර ගැනීමට කල්පනාකාරී වන්න.... මෙසේ සම්පූර්ණයෙන්ම මැලියම් ඉවත් වී ඇති බවට සෑහීමකට පත්විය හැකි වූ පසු එම මුද්දර, වතුර උරාගන්නා කඩදාසි මත මුණින් අතට (මැලියම් තිබුණු පැත්ත උඩු අතට සිටිනසේ) නවා මද පවනේ වේලා ගත යුතු ය.... මෙලෙස මද පවනේ මුද්දර වේලාගත් පසුව, ඒ මත තවත් එවැනිම ජලය උරා ගන්නා කඩදාසියක් අතුරා ඒ මත තරමක බරක් (පැරණි දුරකථන නාමාවලි මේ සඳහා කදිමය) තබන්න... මෙසේ දවසක් පමණ තිබෙන්නට හැරීමෙන්, ඔබේ මුද්දර එකතුවට එක් කර ගැනීමට සුදුසු ආකාරයේ, ඉතා පැතලි - පිරිසිදු මුද්දර ලබා ගත හැකි වනු ඇත... දැන් මේ මුද්දර, ඔබේ “මුද්දර සුරැකුම් පොතේ” (Stamp Album) ඊට හිමි තැන රඳවන තුරු තෙල් කඩදාසිවලින් සකස් කර ගත් කවර වල බහා ආරක්ෂිතව තැබිය හැකි ය... එසේත් නැතිනම් පහසුවෙන් සපයාගත හැකි “මුද්දර රැඳවුම් පොතක්” (Stock Book) තුළ රඳවා තැබීම වඩාත් සුදුසු ය... ඝන කාඩ්බෝඩ් පිටු මැදින් හරහට යෙදු විනිවිද පෙනෙන තෙල් කඩදාසි හෝ සෙලෝෆේන් තීරූ තුළ මුද්දර පහසුවෙන් රඳවා තැබිය හැකි වීම මෙහි ඇති වාසියයි...



එසේම ඔබේ මුද්දර සුරැකුම් පොතේ, මුද්දර රැඳවිය යුතු සැලැස්ම ගැන අත්හදා බලන්නටද මෙම රැඳවුම් පොත් කදිමය.... එහෙත් ලංකාවේ ඉතා සුලබව විකිණිම සඳහා තබා ඇති බාල වර්ගයේ මුද්දර රැඳවූම් පොත් මිලට ගැනීම ඔබේ මුදල් මෙන්ම මුද්දර එකතුවද විනාශ කර ගැනිමකි... මේවායේ රඳවන මුද්දර ටික කලක් යත්දි පුස්(Fungus) බැඳී විනාශ වන අයුරු මා අත්දැකීමෙන්ම දැක තිබේ....

* ජලයේ පොඟවා මුද්දර ගලවා ගන්නා ආකාරය දැක්වෙන මේ අපූරු දසුන් පෙළ ඔබට බෙහෙවින් වැදගත් වෙනවා නොඅනුමානයි.



* ඇලෙන සුළු මුද්දර (Self-Adhesive Stamps), මුද්දර ඉවත් කිරීමට යොදා ගන්නා දියර යොදාගනිමින් කඩදාසිවලින් ඉවත් කර ගන්නා අන්දම දැක්වෙන දසුන් පෙළක් පහත සබැඳය ඔස්සේ නැරඹිය හැකියි.

How do I remove self-adhesive stamps from envelopes?


2011 ජූනි 04 වැනිදා - ලිපිය යාවත්කාලීන කිරීමයි -


* දැනට ලංකාවේ භාවිතාවන තැඹිලි-දූඹුරු පැහැයට හුරු ලියුම් කවර වල අලවා ඇති මුද්දර එම කවර වලින් ඉවත් කර ගැනිමේදී, මුද්දර සහිත කවර කොටස් වැඩි වේලාවක් ජල බඳුන තුළ පෙඟෙන්නට හැරීමෙන් වළකින්න. මන්ද යත් මේ ලිපි කවර වැඩි වේලාවක් ජලයේ පෙඟෙන්නට තැබූ විට එහි ඇති තැඹිලි පැහැය මුද්දරවලට කාන්දු වී මුද්දර එකතු කිරීමට නුසුදුසු තත්වයට පත් වන බැවිනි.


සෙසු සේයාරූ eBay වෙතින් සහ අන්තර්ජාලයෙනි.

ආශ්‍රීත ග්‍රන්ථ
මුද්දර ලෝකයට පිවිසෙමු - මුද්දර කාර්යාංශයේ ප්‍රකාශනයකි
STAMP COLLECTING : HOW TO START - STANLEY GIBBONS


>>> Coming Up Next >>>
විනෝදාංශයට අත දෙන - පත පොත...

Monday, January 17, 2011

හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගැනීම


Image : Universal Postal Union (UPU)


සුගිය ලිපියෙන් මා සාකච්ඡා කළේ හොඳ මුද්දර එකතුවක් ගොඩනගා ගැනීම සඳහා සපුරා ගත යුතු අවශ්‍යතා කිහිපයක් ගැනයි... එහිදි මතක තබා ගැනීමේ පහසුව සඳහා එම කාරණා කිහිපය මුද්දර ලෝලීන් වන අප ඉතා ආදරය කරන, “මුද්දරය” හැඳින්වීමට යෙදෙන ඉංග්‍රීසි යෙදුම වන “STAMP” යන්නට කැටි කොට දැක්වූවා, ඔබට මතක ඇති.... එහිදි මා එම කරුණු සවිස්තරාත්මකව හඳුන්වා දෙන්නට උත්සාහ කළේ නැහැ... මට අවශ්‍ය වූයේ එම කරුණු ඉතා කෙටියෙන් හඳුන්වා දී ඒවා පහසුවෙන් මතක තබා ගන්නට ඔබට මඟ පෙන්වීමටයි... මෙම ලිපියෙන් හා ඉදිරි ලිපිවලින් මා උත්සාහ කරන්නේ එම කරුණු ගැන සවිස්තරාත්මක විග්‍රහයක යෙදෙන්නටයි...

මගේ පෙර ලිපියේ මා නිතර සඳහන් කළ යෙදුමක් තමා “හොඳ මුද්දර එකතුවක්” කියන එක.... මුලින්ම ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත් හොඳ යැයි මට සිතුණා... මුද්දර එකතුවක්, “හොඳ” මුද්දර එකතුවක් වීමට නම් එම මුද්දර එකතුව, එකතු කිරීමට නුසුදුසු මුද්දරවලින් තොර විය යුතුයි... මුද්දරයක් එකතු කිරීමට නුසුදුසු මුද්දරයක් වශයෙන් හඳුන්වා දිය හැකි අවස්ථා මොනවාද යන්න අපි මීළඟට සලකා බලමු... මෙහිදී මා විමසා බලන්නේ තැපැල් කටයුතු සඳහා භාවිතා කරන ලද මුද්දර (Used Stamps) පිළිබඳවයි... තැපැල් කන්තෝරුවේ මුද්දර කවුළුවෙන් නිකුත් කරන පාවිච්චි නොකරන ලද තත්ත්වයේ මුද්දර(Mint)එකතු කිරීමට තරම් මේ විනෝදාංශයේ යෙදෙන අප බොහෝ දෙනෙකුට හැකියාවක් නොමැති බව නොරහසක්... විසි කිරීමට මුදල් හදල් යහමින් ඇත්නම් පාවිච්චි නොකරන ලද තත්ත්වයේ මුද්දර එකතු කිරිම හොඳ අනාගත ආයෝජනයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්...


  1. සෑම විටම ඔබ එකතු කළ යුත්තේ ඉතා පිරිසිදු තත්වයේ පවතින මුද්දරයි... කිලිටි වී අපිරිසිදු තත්වයේ පවතින මුද්දර(ඒවා සොයාගැනීම කෙතරම් අසීරු වුවද)වැටෙන්නේ එකතු කිරීමට නුසුදුසු ගනයටයි... එසේම එවැනි මුද්දර ඔබේ මුද්දර එකතුවට අලංකාරයක් වෙනුවට ගෙන එන්නේ අශෝභන බවකි... එහෙයින් එවැනි කිලිටි මුද්දර එකතු කිරීමෙන් වළකින්න..
  2. ඉරුණු, විදමන් හෙවත් දැති කැඩුණු, හිල් වුණු, පතුරු ගැලවුණු, පෘෂ්ඨයේ තුනීවීම් සහිත මෙන්ම මතුපිට හෝ පසුපස සීරීම් සලකුණු සහිත මුද්දරද එකතු කිරීමට නුසුදුසු මුද්දර වේ... ඒවා ඔබේ මුද්දර එකතුව අහළකටවත් නොගැනීමට සැලකිලිමත් වන්න‍....
  3. ඔබ එකතු කරන්නේ තැපැල් කටයුතු සඳහා භාවිත කළ මුද්දර නම් ඉතා අශෝභන ලෙස අවලංගු කීරිමේ දින මුද්‍රා වැදුණු මුද්දරද ඔබේ මුද්දර එකතුවට එකතු කර ගැනීමෙන් වළකින්න... එසේම රූප හඳුනාගැනීමට අපහසුවන ආකාරයෙන්, ඉතා තදින් දින මුද්‍රා වැදී ඇත්නම් එවැනි මුද්දරද ඉවතලෑමට සිදු වේ.
  4. තැලුණු, පොඩිවුණු හෝ නැමුම් දාර සහිත මුද්දර ද ඔබේ එකතුවට එක් කර ගැනීමට තරම් සුදුසු ඒවා නොවේ...


ඉහත සඳහන් කළ ආකාරයේ මුද්දර ඔබේ මුද්දර එකතුව තුළත් සැඟවී තිබෙනවා නම් අද ම ඒවා ඉවත් කිරීමට පියවර ගන්න... එමගින් ඔබේ මුද්දර එකතුවත්, ඉතා පියකරු - ඉතා වටිනා - හොඳ මුද්දර එකතුවක් බවට පත් කර ගන්න... ඇතැම් විට සොයාගැනීමට ඇති අපහසුව නිසා හෝ දුලබ බව නිසා හෝ ඉවත ලෑමට ඇති ලෝභ කමින්, ඉහත සඳහන් කළ ආකාරයේ මුද්දර ඔබ සන්තකයේ තබාගෙන සිටිනවා විය හැකිය. එහෙත් හොඳ මුද්දර එකතුවක් ගොඩනගා ගැනීමට ඔබත් කැමැත්තෙන් සිටිනවා නම් අකමැත්තෙන් වුවත් ඒවාට ආයුබෝවන් කියන්නට ඔබට සිදුවෙනු ඇත...

ඔබ මෙම විනෝදාංශයට තවමත් ආධුනිකයෙක් නම් පළමුව ඔබ විසින් එකතු කරන්නේ කුමන ආකාරයේ මුද්දරදැයි තීරණයකට ඒමට සිදුවනු ඇත.. ලොව පුරා රටවල් රැසකින් (සාමානයයෙන් රටවල් 200 කින් පමණ) වසරකට දහස් ගණනක් මුද්දර නිකුත් කිරීමට කටයුතු කරන බැවින් අනාදිමත් කාලයක සිට පැවති මුද්දර එකතු කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය වන, රටවල් අනුව මුද්දර එකතු කිරීමේ ක්‍රමය පරයමින් දැන් ඉදිරියට පැමිණ ඇත්තේ විවිධ තේමා අනුව මුද්දර එකතු කිරීමේ ක්‍රමය යි. එය රටවල් අනුව මුද්දර එකතු කිරීමට සාපේක්ෂව බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ, අද වන විට ලෝකයේ විවිධ රටවල් මෙසේ විවිධ තේමා අනුව මුද්දර නිකුත් කිරීමට උත්සුක වී ඇති නිසයි... වන සතුන්, ජනප්‍රිය පුද්ගලයින්, ක්‍රීඩා, විසිතුරු මල්, තාරකා විද්‍යාව සම්බන්ධිත මුද්දර, යාන වාහන, ජලජ ජීවින් යනාදි මුලික තේමා රැසක් හා ඊට අදාළ අනු තේමා යටතේ මෙසේ මුද්දර එකතු කරනු ලබනවා... උදාහරණයක් ලෙස ඔබ මූලික තේමාව ලෙස වන ජීවීන් යන්න තෝරා ගත්තා යැයි සිතමු.. දැන් මේ යටතේ අලි ඇතුන්, පක්ෂීන්, උභය ජිවීන් වැනි විවිධ අනු තේමා යොදාගනිමින් ඔබේ මුද්දර එකතුව සකස් කර ගත හැකියි... විවිධ රටවලින් මෙවැනි තේමා යටතේ නිකුත් කරනු ලබන මුද්දර එකම තැනකට ගෙන ආ හැකි වීම මෙහි විශේෂත්වයයි...

මා පෞද්ගලිකව ප්‍රියතාවයක් දක්වන්නේ ද මෙම තේමා අනුව මුද්දර එකතු කිරීමේ ක්‍රමයටයි... එහෙත් මගේ මව් බිමේ මුද්දර එකතුවක් ගොඩ නගා ගැනීමටත් මට නම් ඇත්තේ නොනිත් ආසාවක් !


ඔබට.... ?

ආශ්‍රීත ග්‍රන්ථ
මුද්දර ලෝකයට පිවිසෙමු - මුද්දර කාර්යාංශයේ ප්‍රකාශනයකි
STAMP COLLECTING : HOW TO START - STANLEY GIBBONS



>>> Coming Up Next >>>
මුද්දර ඒවාට හානි නොවන අයුරින් ලියුම් කවරවලින් ගලවා ගන්නේ කොහොමද ?
විනෝදාංශයට අත දෙන - පත පොත...

Tuesday, January 4, 2011

මුද්දරය | Stamp


Image : Universal Postal Union (UPU)


"මුද්දරය|Stamp" යන වදන ඇතමෙකුට ඒ තරම් හැඟීමක් ඇති කරන එකක් නොවන බවට සැකයක් නැහැ.
ඒත් මුද්දර ලෝලියෙකුට නම් මුද්දරයක් යනු අමිල වස්තුවක් !
දැනුම, විනෝදය මෙන්ම සතුට ගෙනෙන උල්පතක් !
මෙවැනි මුද්දර එකින් එක එකතු වෙලා ගොඩ නැඟෙන මුද්දර එකතුවක් කියන්නේ සිතට අමුතුම ආකාරයේ නිරාමිස සුවයක් එක් කරන අපූරූ වත්කමක් !

ඉතින් කොහොමද හොඳ මුද්දර එකතුවක් ගොඩ නඟා ගන්නේ ?

ඉඳින් මා මෙලෙස සුදානම් වෙන්නේ හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගන්නට ඔබට අත්වැලක් වෙන්නයි...

හොඳ මුද්දර එකතුවක් ගොඩ නඟා ගන්න නම් අපට කරුණු කිහිපයක් සම්පූර්ණ කරගැනීමට සිදු වෙනවා. මේ කරුණු ටික මතක තියා ගන්න පහසු වෙන්නත් එක්ක එක වචනයකට ගොනු කර ගන්නත් පුළුවන්... ඒ වචනය තමා STAMP කියන එක. හොඳයි එහෙමනම් පොඩ්ඩක් උත්සාහ කරල බලන්න මේ කරුණු ටික ඔයාලටත් මතක තියා ගන්න පුළුවන් ද කියල...

මුද්දරය එහෙම නැත්නම් STAMP කියන වචනය හැදෙන පළවෙනි අකුර අරගනිමු. මොකක්ද මේ අකුරට ගොනු කරල තියෙන කරුණ.... මුද්දර එකතුවක් ගොඩනඟා ගැනීමට අපේක්ෂා කරනවා නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේ මොනව ද ?
ඔය S අකුර ගැන හිත යොමු කරල බලන්න.... ඔබ හිතුවා හරි...

S >>> Stamps


හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගන්නෙ කොහොමද මුද්දර නැතිව... හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගන්නට නම් අනිවාර්යයෙන්ම අපට හැකි උපරිමයෙන් මුද්දර රැස් කරගන්නට සිදු වෙනවා... ඉතින් කොහොමද මුද්දර හොයා ගන්නේ... මොන වගේ මුද්දරද අපේ එකතුවට එක් කර ගන්න ඕනෑ කියන කාරණය මම පසුව වෙනම ලිපියකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.



දෙවැනි අකුර තමා T. මොකක්ද මින් කියැවෙන්නේ.... Time කියන එක ද ? එක අතකින් බැලුවහම මුද්දර විනෝදාංශය සඳහා අපට කාලය අවශ්‍ය වෙන බව ඇත්තයි. ඒත් මේ අකුරට ගොනු කරල තියෙන්නෙ වෙනත් කරුණක්.

T >>> Tools 



හොඳ මුද්දර එකතුවක් ගොඩ නඟා ගන්නට අවශ්‍ය නම් අපට, මුද්දර එකතු කිරීමේදි Tools නැත්නම් උපකරණ කිහිපයක් ම භාවිතා කරන්නට සිදුවෙනවා.

  • මුද්දර අඬුවක්  - Stamp tongs | Stamp Tweezers 
  • විශාලන කාචයක් - Magnifying Glass
සාමාන්‍ය / ආධුනික මුද්දර එකතු කරන්නෙක් සඳහා නම් ඔය උපකරණ ද්විත්වය වුවත් ප්‍රමාණවත්. නමුත් තරමක් පරිණත මුද්දර එකතු කරන්නෙක් සඳහා නම්  ඔතැනින් මදක් ඔබ්බට ගිය තවත් උපකරණ කිහිපයක් අවශ්‍ය වනු ඇති. 
  • විදමන් ආමානයක් - Perforation Gauge
  • වර්ණ දර්ශකයක් - Stamp Colour Key / Colour Guide
  • දියසළකුණු දර්ශකයක් - Watermark Detector  
මීට අමතරව අප ජීවත් වන ඩිජිටල් යුගයට සරිලන අන්දමට මුද්දර පිළිබඳ සටහන් තබා ගැනීමට හෝ මුද්දර කළමනාකරණය පහසු කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් ම නිපැයුණු පරිගණක මෘදුකාංග (Stamp Management Software) හෝ ස්මාර්ට් ජංගම දුරකථන සඳහා වන යෙදවුම් (Smart Phone Application)  ද ‍මේ යටතට වැටෙනවා.  







ඊළඟ අකුර තමා A... මොකක්ද මෙයින් කියැවෙන්නේ.... අපහසුවකින් තොරවම ඒ ගැන ඉඟියක් පළ කරන්නට ඔබටත් හැකි වනවාට සැකයක් නැත..

A >>> Album



[Adaptable වෙළඳ නාමය යටතේ එන Lose-leaf වර්ගයේ මුද්දර සුරැකුම් පොතක් ]


ඔබ විසින් විවිධ ක්‍රම ඔස්සේ එක් රැස් කර ගන්නා මුද්දර, ක්‍රමවත්ව සුරැකිව තබා ගන්නට නම් ඒ සඳහාම විශේෂයෙන් සැකසු මුද්දර සුරැකුම් පොතක් අවශ්‍ය වෙනවා... අද වන විට විවිධ ආකාරයේ මුද්දර සුරැකුම් පොත් වෙළඳපොළ ආක්‍රමණය කොට තිබෙනවා. ගම් පතුරු හෙවත් මුද්දර රඳවන ආධාරයෙන් මුද්දර රඳවා තබන මුද්දර පොත් (මේවායේ ප්‍රස්ථාර කොළවල මෙන් කුඩා කොටු අවපැහැයෙන් මුද්‍රණය කර තිබෙනු දැක ගත හැකිය) මෙන්ම අවශ්‍ය පරිදි අවශ්‍ය ප්‍රමාණයට පත්‍රිකා එකතු කර ගත හැකි loose leaf වර්ගයේ ඇල්බමයන් ද ඒ අතර තියෙනවා. මේවායින් තමන්ට ගැලපෙන මුද්දර පොතක් තෝරා ගැනීමට ඔබ කල්පනාකාරී විය යුතුයි.. ලංකාව තුළ මුද්දර සුරැකුම් පොත් (Stamp Album) කියා විකුණන බොහොමයක් ඒවා සැබවින්ම මුද්දර සුරැකුම් පොත් නොව මුද්දර රැඳවුම් (Stock Book) පොත් බව පසුගිය දිනවල ඒ පිළිබඳව විශේෂයෙන් සොයා බලද්දි මට දැක ගන්නට ලැබුණි. ඝන කාඩ්බෝඩ් පිටු මැදින් හරහට යෙදු විනිවිද පෙනෙන තෙල් කඩදාසි හෝ සෙලෝෆේන් තීරූ තුළ මුද්දර පහසුවෙන් රඳවා තැබිය හැකි මෙම Stock Book වඩා සුදුසු වන්නේ මුද්දර විශේෂඥයන් හා මුද්දර වෙළෙඳුන්ටයි. එසේම සුරැකුම් පොතක මුද්දරයට නියමිත ස්ථානය ලබා දෙන තුරු එම මුද්දර රඳවා තබන්නටත් මේවා කදිම ය. විවිධ මුද්දර ඇල්බම පිළිබඳවත් ඒවායේ වාසිදායක තත්වයන් සහ අවාසිදායක තත්වයන් ගැන පසුව සවිස්තරාත්මකව සාක්ච්ඡා කෙරෙනු ඇත...



හතරවැනි අකුර M ය. නිසැකවම M වලින් අදහස් වන්නේ මුදල් යැයි ඔබට සිතෙන්නට පුළුවන. එක් අතකින් එසේ සිතීමේ වරදක් නැත. හොඳ මුද්දර එකතු කරන්නෙකු වීමට නම් ඔබට යම් පමණකට මුදල් වියදම් කරන්නට සිදුවීම වැළැක්විය නොහැකි ය. විශේෂයෙන් ම මුද්දර, මුද්දර ආහ්‍රිත ද්‍රව්‍ය මෙන්ම මුද්දර එකතු කිරීමේදි අවශ්‍ය වන ආම්පන්න මිලදී ගැනිමට මුදල් අවශ්‍ය වනු ඇත. එහෙත් මෙහිදි M යන්නෙන් අදහස් වන්නේ Money නොව අනෙකකි.

M >>> Mounts and Hingers


මෙයින් අදහස් වන්නේ මුද්දර රඳවා තබන තීරු රැඳවුම් හා ගම් පතුරු ය. මෙසේ තීරු රැඳවුම් තුළ මුද්දර තැන්පත් කොට තැබීම දැනට වසර කිහිපයක සිට ජනප්‍රියව පවතින්නේ, මෙම රාමුව තුළ මුද්දර හොඳින් ආරක්ෂා වී පැවතීමත් කලු පැහැති පසුබිම නිසා මුද්දර වඩා හොඳින් කැපි පෙනීමත් නිසාය. රැඳවුම් රාමුවේ මතුපිට විනිවිද පෙනෙන තුනී පොලියෙස්ටර් පටලයකින් සමන්විත වන අතර පසුපස තීරුව කළු පැහැ පොලියෙස්ටර් තීරුවකින් සමන්විතය.


[මුද්දර ඇතුල් කළ යුතු ආකාරය අනුව මෙන්ම පසුබිම් වර්ණය කළු හෝ අවර්ණ වශයෙන් ද Mounts වර්ග කිහිපයකින් ලබා ගත හැකිය.]


[විවිධ වෙළඳනාම යටතේ එන ගම්පතුරු]


ගම් පතුරු නැතිනම් මුද්දර රඳවන (Hingers) මගින් මුද්දර සුරැකුම් පොතේ රඳවා තැබීම අනාදිමත් කාලයක සිටි මුද්දර එකතු කරන්නන් අතර ජනප්‍රියව පැවති ක්‍රමයයි. මෙහිදී මුද්දර රැඳවීම සඳහා භාවිතා කෙරෙන්නෙ එක් පසෙක වියළි මැලියම් තට්ටුවක් ආලේප කර ඇති කුඩා දිගැටි හැඩයේ තෙල් කඩදාසිවලින් සකසා ගත් පතුරු වර්ගයකි.



අවසාන අකුර වන්නේ P ය. මින් අදහස් කරනුයේ මුද්දර පිළිබඳ තොරතුරු ඇතුලත් පත පොත යනාදිය ය.

P >>> Publications


[එක්සත් ජනපදයේ පළවන Scott මුද්දර නාමාවලිය, මහා බ්‍රිතාන්‍යෙයේ පළවන Stanley Gibbons මුද්දර නාමාවලිය සහ Stanley Gibbons ප්‍රකාශනයක්]

මුද්දර පිළිබඳ අනගි තොරතුරු ලබාදෙන මුද්දර නාමාවලි (Stamp Catalog), වාර සඟරා මෙන්ම විවිධ පත පොත ද මේ යටතට ගැනේ. මුද්දර ගැන හොඳ දැනුමක් නොමැතිව හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගත නොහැකිය. එබැවින් මෙවැනි මුද්දර ආශ්‍රිත ප්‍රකාශන පරිහරණයට පුරුදු පුහුණු වීම ද හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගැනීම සඳහා අතිශයන් ම වැදගත් වේ.

දැනට මේ කරුණු ටික සිහියේ තබා ගැනීම ප්‍රමාණවත්... ඉදිරියේදී අපි ඒ ගැන වැඩි දුරටත් සාකච්ඡා කරමු..