Pages

මුද්දර ලෝලියෙකුගේ අන්තර්ජාල සටහන …

අතිශයින්ම මුද්දර ලෝලීන් සඳහා පමණයි !

Thursday, January 20, 2011

මුද්දර ඒවාට හානි නොවන අයුරින් ලියුම් කවරවලින් ගලවා ගන්නේ කෙසේද ?


Image : Universal Postal Union (UPU)


තමන්ගේ මුද්දර එකතුව වර්ධනය කර ගැනීම සඳහා මුද්දර සපයා ගත හැකි විවිධ ක්‍රම පිළිබඳව මීට පෙර ලිපියෙහි මා සඳහන් කළා ඔබට මතක ඇති.... මුදල් වියදම් නොකර වගේම, යම් මුදලක් වියදම් කිරීමෙනුත් මෙසේ මුද්දර සපයා ගත හැකි ක්‍රම පිළිබඳව මා එහිදි කතාබහට ලක් කළා... ඇතැම් විට මෙසේ ඔබ මිලදී ගන්නා මුද්දර නම් කෙළින්ම ඔබේ සුරැකුම් පොතට ඇතුළත් කර ගත හැකි ආකාරයෙන් (Off Paper) පවතිනවා.... එහෙත් මෙසේ ඔබ මිලදී ගන්නා වගේම ඔබ විසින් සපයා ගන්නා ඇතැම් මුද්දර, (On Paper Stamps) ඔබේ සුරැකුම් පොතට ඇතුළත් කර ගැනීමට පෙර ඊට සුදුසු තත්වයට පත් කර ගත යුතු වෙනවා...

ඒ ගැන කතා කිරීමට මත්තෙන් පුංචි මතක් කිරීමක් කරන්නට කැමතියි... තැපැල් කටයුතු සඳහා භාවිතා කරන ලද මුද්දර, ඒවා අලවා ඇති ලියුම් කවර වලින් ගලවා ගැනීමේදී බෙහෙවින් ප්‍රවේශම් විය යුතුයි.... ඇතැම් අය කිසිදු වග විභාගයකින් තොරව ලියුම් කවරයේ තිබියදීම මුද්දරය ගලවා ගන්නට උත්සහ දරනවා... මෙය කිසි සේත් නොකළ යුතු දෙයක්.... මෙසේ ලියුම් කවරයෙන් මුද්දරය ඇද ඉවත් කර ගැනීමට යාමෙන් මුද්දරය, අප පෙර ලිපියේදී සඳහන් කළ ආකාරයට ඔබේ මුද්දර එකතුව අහළකටවත් ගැනීමට නුසුදුසු තත්වයට පත් වෙනවා.... කොටින්ම කිව්වොත් මෙසේ කිරීමෙන් මුද්දරයට දැඩි ලෙස හානි සිදු විය හැකියි.... සෑම විටම ලියුම් කවරයකින් මුද්දරය වෙන් කර ගත යුත්තේ, මුද්දරය වටා ඇති කඩදාසියත් සමඟ එය කපා ඉවත් කර ගැනීමෙන්...


මේවා On Paper Stamps කියා හඳුන්වනවා....

එසේම යම් වැදගත්කමක් සහිත, විශේෂිත මුද්‍රාවකින් අවලංගු කරන ලද කවර හමුවුවහොත් ඒවා ඒ අයුරින්ම නොකපා තබා ගන්නට ප්‍රවේශම් වන්න... මන්ද යත් එවැනි විශේෂිත මුද්‍රා එහි අලවා ඇති මුද්දරයට වඩා වැඩි වැදගත් කමක් උසුලන බැවිනි... විශේෂයෙන් ඔබ, නෑ හිත මිතුරන් මාර්ගයෙන් මුද්දර එකතු කර ගන්නවා නම් මේ ගැන ඔවුන් දැනුවත් කර තබන්න... නැත්නම් ඔවුන් විසින් අවසානයේ ඔබ වෙත එවන්නේ ඉවත ලෑමට සිදු වන ආකාරයේ මුද්දර වීමට බෙහෙවින් ඉඩ ඇත...

මෙම අලවා ඇති කඩදාසි කොටස් සමඟින් ඇති මුද්දර, කෙළින්ම ඔබේ මුද්දර එකතුවට එක් කර ගත නොහැකියි... ඒ සඳහා මෙම කඩදාසි කොටස් ඉවත් කර මුද්දරය ඊට සුදානම් කර ගත යුතු වෙනවා.... මෙසේ කඩදාසියෙන් මුද්දරය වෙන් කර ගැනීම සඳහා භාවිතා කළ හැකි "දියර වර්ග" වෙළඳපොළෙන් මිලදී ගත හැකියි....


එහෙත් ඒතරම් දුර නොයා ඉතා සරලව මේ කටයුත්ත කර ගත හැකියි.. ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ වතුර පිරවු භාජනයක් සහ වතුර උරා ගන්නා කඩදාසි කිහිපයක් (පෙරහන් කඩදාසි) පමණයි...

ඔබ මුද්දර සමඟ කටයුතු කරන හැම අවස්ථාවකම විශේෂයෙන් සිහි තබා ගත යතු කරුණ නම්, නිතරම ඔබේ දෑත් පිරිසිදුව තබා ගැනීමට අමතක නොකිරීමයි !

මෙසේ කඩදාසි පිටින් කපා ගත් මුද්දර, ප්‍රමාණවත් තරම් ජලය පුරවා ගත් භාජනයකට දමා කඩදාසි පෙඟෙන්නට ප්‍රමාණවත් තරම් කාලයක් ඒ තුළ තිබෙන්නට හරින්න...


එවිට මුද්දරවල පසුපස ඇති මැලියම් දිය වී මුද්දර පහසුවෙන් කඩදාසි වලින් ඉවත් වෙයි... මෙම කටයුත්ත ද ඉතා ඉවසීමෙන් කළ යතු අතර ආයාසයෙන් මුද්දර කඩදාසි කැබලි වලින් වෙන් කර ගැනීමට උත්සාහ නොකළ යුතුය... යම් මුද්දරයක් මෙසේ පහසුවෙන් කඩදාසි කැබලි වලින් ඉවත් නොවේ නම් ඒවා ආයාසයෙන් වෙන් කිරීමට උත්සහ නොගෙන තවත් කාලයක් ජලයේ පෙඟෙන්නට හැරීමෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකි වනු ඇත... එසේම ඇතැම් ඝනකම් කඩදාසිවල අලවා ඇති මුද්දර ගලවා ගැනීමට නම් මදක් උණුසම් ජලය පාවිච්චි කිරීමට සිදුවනු ඇත... විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව ආදී රටවලින් මෑතක සිට හඳුන්වා දී ඇති “ඇලෙන සුළු මුද්දර” (Self Adhesive Stamps) ඒවා අලවා ඇති කඩදාසිවලින් වෙන් කර ගැනීමට යාමේදි ඇල් ජලය වෙනුවට මදක් උණුසුම් ජලය පාවිච්චියෙන් හොඳ ප්‍රතිඵල නෙලා ගත හැකි බව මට අත්දැකීමෙන්ම පසක් කර ගත හැකි විය... මෙසේ ජලයේ පොඟවා මුද්දර වෙන් කර ගැනීමේදී මතක තබා ගත යුතු අනෙක් කරුණ නම්, පාට කඩදාසි මත ඇති මුද්දර සෙසු මුද්දර සමඟ මුසු නොකිරීමට වග බලා ගැනීමයි... විශේෂයෙන් නත්තල වැනි විශේෂ උත්සව අවස්ථා වෙනුවෙන් ලැබෙන විවිධ වර්ණයෙන් යුතු (වැඩිමනත්ම රතු පැහැයෙන් යුතු) ලිපිකවර මත ඇති මුද්දර මෙසේ අනෙක් මුද්දර හා මුසු කර ජලයේ පෙඟෙන්නට ඉඩ හැරීමෙන් කඩදාසියේ ඇති වර්ණ ජලයේ දියවී අනෙකුත් මුද්දරවලටත් පැතිරීම නිසා එම මුද්දර සියල්ලම ඉවත ලෑමට සිදු වනු ඇත... වරෙක, මටත් මේ අමිහිරි අත්දැකීම විඳගන්නට සිදු වුයේ සුලු නොසැලකිලිමත් කමක් නිසාවෙනි...

මුද්දර පහසුවෙන් කඩදාසි කැබලිවලින් වෙන් කර ගත් පසු ඒවා ජල භාජනයේ තිබියදීම, ඇඟිලි තුඩු වලින් මුද්දරවල පසුපස සෙමෙන් පිරිමදිමින් ඒවායේ රැඳී ඇති අමතර මැලියම් පවා ඉවත් කර ගැනීමට කල්පනාකාරී වන්න.... මෙසේ සම්පූර්ණයෙන්ම මැලියම් ඉවත් වී ඇති බවට සෑහීමකට පත්විය හැකි වූ පසු එම මුද්දර, වතුර උරාගන්නා කඩදාසි මත මුණින් අතට (මැලියම් තිබුණු පැත්ත උඩු අතට සිටිනසේ) නවා මද පවනේ වේලා ගත යුතු ය.... මෙලෙස මද පවනේ මුද්දර වේලාගත් පසුව, ඒ මත තවත් එවැනිම ජලය උරා ගන්නා කඩදාසියක් අතුරා ඒ මත තරමක බරක් (පැරණි දුරකථන නාමාවලි මේ සඳහා කදිමය) තබන්න... මෙසේ දවසක් පමණ තිබෙන්නට හැරීමෙන්, ඔබේ මුද්දර එකතුවට එක් කර ගැනීමට සුදුසු ආකාරයේ, ඉතා පැතලි - පිරිසිදු මුද්දර ලබා ගත හැකි වනු ඇත... දැන් මේ මුද්දර, ඔබේ “මුද්දර සුරැකුම් පොතේ” (Stamp Album) ඊට හිමි තැන රඳවන තුරු තෙල් කඩදාසිවලින් සකස් කර ගත් කවර වල බහා ආරක්ෂිතව තැබිය හැකි ය... එසේත් නැතිනම් පහසුවෙන් සපයාගත හැකි “මුද්දර රැඳවුම් පොතක්” (Stock Book) තුළ රඳවා තැබීම වඩාත් සුදුසු ය... ඝන කාඩ්බෝඩ් පිටු මැදින් හරහට යෙදු විනිවිද පෙනෙන තෙල් කඩදාසි හෝ සෙලෝෆේන් තීරූ තුළ මුද්දර පහසුවෙන් රඳවා තැබිය හැකි වීම මෙහි ඇති වාසියයි...



එසේම ඔබේ මුද්දර සුරැකුම් පොතේ, මුද්දර රැඳවිය යුතු සැලැස්ම ගැන අත්හදා බලන්නටද මෙම රැඳවුම් පොත් කදිමය.... එහෙත් ලංකාවේ ඉතා සුලබව විකිණිම සඳහා තබා ඇති බාල වර්ගයේ මුද්දර රැඳවූම් පොත් මිලට ගැනීම ඔබේ මුදල් මෙන්ම මුද්දර එකතුවද විනාශ කර ගැනිමකි... මේවායේ රඳවන මුද්දර ටික කලක් යත්දි පුස්(Fungus) බැඳී විනාශ වන අයුරු මා අත්දැකීමෙන්ම දැක තිබේ....

* ජලයේ පොඟවා මුද්දර ගලවා ගන්නා ආකාරය දැක්වෙන මේ අපූරු දසුන් පෙළ ඔබට බෙහෙවින් වැදගත් වෙනවා නොඅනුමානයි.



* ඇලෙන සුළු මුද්දර (Self-Adhesive Stamps), මුද්දර ඉවත් කිරීමට යොදා ගන්නා දියර යොදාගනිමින් කඩදාසිවලින් ඉවත් කර ගන්නා අන්දම දැක්වෙන දසුන් පෙළක් පහත සබැඳය ඔස්සේ නැරඹිය හැකියි.

How do I remove self-adhesive stamps from envelopes?


2011 ජූනි 04 වැනිදා - ලිපිය යාවත්කාලීන කිරීමයි -


* දැනට ලංකාවේ භාවිතාවන තැඹිලි-දූඹුරු පැහැයට හුරු ලියුම් කවර වල අලවා ඇති මුද්දර එම කවර වලින් ඉවත් කර ගැනිමේදී, මුද්දර සහිත කවර කොටස් වැඩි වේලාවක් ජල බඳුන තුළ පෙඟෙන්නට හැරීමෙන් වළකින්න. මන්ද යත් මේ ලිපි කවර වැඩි වේලාවක් ජලයේ පෙඟෙන්නට තැබූ විට එහි ඇති තැඹිලි පැහැය මුද්දරවලට කාන්දු වී මුද්දර එකතු කිරීමට නුසුදුසු තත්වයට පත් වන බැවිනි.


සෙසු සේයාරූ eBay වෙතින් සහ අන්තර්ජාලයෙනි.

ආශ්‍රීත ග්‍රන්ථ
මුද්දර ලෝකයට පිවිසෙමු - මුද්දර කාර්යාංශයේ ප්‍රකාශනයකි
STAMP COLLECTING : HOW TO START - STANLEY GIBBONS


>>> Coming Up Next >>>
විනෝදාංශයට අත දෙන - පත පොත...

6 comments:

හා පැටික්කි (MS) said...

හ්ම් බලමු........

වර්ථමානයේ සිට හෝ එකතු කරන්නට සිතක් පහල විය...... කොහොම වෙයිද දන්නෑ..... :D

sansarasidu said...

@ හා පැටික්කි (MS),
හා නගා මේ දවස්වල ලියන භාෂාවෙන්මයි වගේ වැඩ...
හික්ස්...

ඇත්තටම එහෙම සිතක් පහළ වුන දාට කියන්න... ඕනම උදව්වක් දෙන්න බොහොම කැමැත්තෙන්ම බලා ඉන්නවා..

මුද්දර එකතු කිරීමෙන් ලැබෙන සතුට සහ විනෝදය ගැන දන්නේ "හරියට" මුද්දර එකතු කරන කෙනෙක්ම විතරයි...

~ChAnDiKa~ said...

මේ බ්ලොග් එක දැක්කට පස්සේ මට මගේ පරණ විනොදාංශය මතක් වුණා. මම එකතු කරපු මුද්දරත් මල්ලිට දුන්නනෙ මම ටික කාලෙකට කලින්. මල්ලි නැතිවෙන්න ටික කාලෙකට කලින් එයාගෙ සේරම මුද්දර ටික ගොඩවල් වලට වෙන් කරල පරිස්සමට අරන් තියල තිබුණ. මං ඒ ටික ගැන මතක්වෙලා ආයෙ හොයල ගත්ත මගේ පරණ විනෝදාංශය ආයෙ පටන් ගන්න හිතාගන. බොහොම ස්තුතියි සහෝ මේ බ්ලොග් එකෙන් මට ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්න ලැබුණ. ආයෙ එන්නම්. :)

Deeps said...

නියම ලිපියක්!!

sansarasidu said...

@ ..ChAnDiKa..,

මුලින්ම සමාව ඉල්ලනවා මලයාගෙන්.... මට මේක මඟහැරිල තිබ්බේ කොල්ලො..

මං මගේ අත්දැකීම් එකතු කරල ලියන මේ සටහන් වලින් කවදාහරි කාටහරි ප්‍ර යෝජනයක් වෙනවා නම් ඒක තමා මගේ අරමුණ....

ගොඩක් ස්තූතියි මල්ලි අදහසටත් ගොඩවැදිල ගියාටත්...

sansarasidu said...

@ deeps,

මේ පැත්තට පිළිගන්නවා සාදරයෙන්...

ස්තූතියි deeps..

Post a Comment