Pages

මුද්දර ලෝලියෙකුගේ අන්තර්ජාල සටහන …

අතිශයින්ම මුද්දර ලෝලීන් සඳහා පමණයි !

Monday, July 17, 2017

මුද්දර සපයා ගැනීම



කොහොම ද මුද්දර හොයා ගන්නේ ???

හොඳ ප්‍රශ්නයක්! 

මීට කලකට ඉහත පළවු ලිපියක් මගින් මුද්දරය පිළිබඳවත් හොඳ මුද්දර එකතුවක් ගොඩනගා ගැනීම පිළිබඳවත් අප විමසීමක් කළා. එහිදී මුද්දරය හඳුන්වන ඉංග්‍රීසී වදන වන "STAMP" යන්න අනුසාරයෙන් ඔබට මතක තබා ගන්නට පහසු වන ආකාරයට අප මේ ගැන කතා බහ කළ බව ඔබට මතක ඇති.  
    • S - Stamps
    • T - Tools
    • A - Albums
    • M - Mounts
    • P - Publications 

ඇත්තෙන්ම ඔබ මුද්දර රැස් කිරීම අරඹන්නට සිතන අයෙකු නම් පළමුවෙන් ම ඔබ විසින් කළ යුතු කාර්යය වන්නේ ඔබ එකතු කරන්නට යන්නේ මොනවාද යන්න පිළිබඳව තීරණයකට පැමිණීමයි.
ඔබ විසින් ගත යුතු පළමු මෙන්ම ඉතා වැදගත් ම තීරණය මෙයයි. 

  • රට රටවල් අනුව මුද්දර එකතු කරනවා ද ? ඔබ උපන් බිමේ මුද්දර එකතුවක් ගොඩ නගා ගන්නවා ද ? එසේත් නැතිනම් තේමා අනුව මුද්දර එකතු කරනවා ද ? 
  • අවලංගු කළ හෝ භාවිතා කළ මුද්දර එකතු කරනවා ද ? එසේත් නැත්නම් අවලංගු නොකළ මුද්‍රිත තත්ත්වයේ මුද්දර එකතු කරනවා ද ? 
  • මුද්දර පමණක් එකතු කරනවා ද ? එසේත් නැතිනම් මුද්දර ආශ්‍රිත අනෙකුත් අයිතමත් (උදා: සිහිවටන පත්‍රිකා / මුල්දින කවර/ තැපැල් පත් ආදිය) එකතු කරනවා ද ?
යන්න මෙහිදී ඔබට තීරණය කිරිමට සිදු වනු ඇති. 

ඒ සඳහා ඔබට දැරිය හැකි / වියදම් කළ හැකි මුදල පිළිබඳවත් අවධානය යොමු කිරිම වැදගත්. මන්ද යත් ඔබ ගන්නා තීරණය එතැන් සිට හෝ ඉන් පසුව හෝ නැත්නම් ඍජුවම හෝ වක්‍ර ව හෝ ඔබේ මුදල් පසුම්බිය මත බලපාන බැවිනි. 

හොඳ මුද්දර එකතුවක් තබා සාමාන්‍ය මුද්දර එකතුවක් වත් ගොඩ නගා ගන්නේ කොහොම ද මුද්දර (*මෙහිදී මුද්දරය යන්න යෙදෙන්නේ ඒ ආශ්‍රිත ද්‍රව්‍ය ද ඇතුළුව බව සලකන්න) නැතිව....? විනෝදාංශය අරඹන ආධුනිකයන් පළමුවෙන් ම මුහුණ දෙන ගැටළුව මෙයයි.  

සැබෑවටම විනෝදාංශයේ ආධුනිකයනට පමණක් නොව අප බොහෝ දෙනෙකුට ද ගැටළුවක් ව ඇත්තේ මුද්දර එකතු කර ගැනීමේ මාර්ග සොයා ගැනීම පිළිබඳවයි...  අද අප ඒ පිළිබඳව සොයා බලමු.

මෙහිදී මුලින් ම අපට සරල පියවර කිහිපයක් අනුගමනය කළ හැකියි...

  1. ඔබේ නිවසට ලැබෙන ලිපි මත ඇති මුද්දර/ සිහිවටන පත්‍රිකා පළමු පියවර වශයෙන් ඔබේ එකතුවට එක් කර ගත හැකියි...
  2. ඔබේ නෑ හිත මිතුරන් දැනුවත් කොට ඔවුනට ලැබෙන ලිපිවල අලවා එවන මුද්දර ඔබ වෙනුවෙන් ඉතිරි කර ගන්නට ඔවුන් පොළඹවා ගත හැකියි... (නමුත් මෙහිදී මුද්දර ලිපිකවර වලින් ගලවා ගන්නා ආකාරය ගැන ඔවුන් දැනුවත් කර තැබීමට ඔබට සිදු වනු ඇත. නැතහොත් ඔබට ලැබෙනු ඇත්තේ ඉවත ලෑමට සිදු වන තත්ත්වයේ ඉරුණු හෝ පළුදු වුණු මුද්දර වීමේ හැකියාව ඉතා ඉහළය.)
  3. හුවමාරු කර ගැනීමෙන්... ඔබ වැනිම මුද්දර එකතු කරන ඔබේ හිත මිතුරන් සමඟ, ඔබ ළඟ වැඩිපුර ඇති මුද්දර ඔබ ළඟ නොමැති මුද්දර වෙනුවෙන් හුවමාරු කර ගත හැකියි... හුවමාරුව මුද්දර එකතු කරන්නන් විසින් පුරුදු පුහුණු කර ගත යුතු ඉතා හොඳ ගුණාංගයක් බවත් මතක තබා ගන්න...
  4. මුද්දර සමාජයක සාමාජිකත්වය ලබාගෙන ඒ මගින් මුද්දර මිලදී ගත හැකියි...
  5. එසේම මුද්දර කාර්යාංශයේ ස්ථාවර ඇණවුම් ගිණුමක් (Standing Order Deposit Account), අරඹා අපේ රටේ නිකුත් කරන මුද්දර, මුල්දින කවර, සිහිවටන පත්‍රිකා ආදිය ඔබේ නිවසටම ගෙන්වා ගත හැකියි.... අවම වශයෙන් රුපියල් 500/- ක මුදලකින් මෙවැනි ගිණුමක් ඇරඹිය හැකිය. ඒ හැරෙන්නට අනියම් ඇණවුමක් (Casual Order) මාර්ගයෙන් ද ඔබට අවශ්‍ය අයිතම මිලදී ගැනීමේ හැකියාවක් පවතී. 
    (වැඩි විස්තර සඳහා - අධ්‍යක්ෂ, මුද්දර කාර්යාංශය, තැපැල් මූලස්ථානය, 310,  ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 01000 යන ලිපිනයෙන් හෝ 011 4927248 සහ 011 2328301 Ex 158, 166 යන දුරකථන අංක ඔස්සේ මුද්දර කාර්යාංශය අමතන්න. විද්යුත් ලිපින slpostpb@gmail.com හෝ  stamps.info@slpost.lk) මුහුණු පොත 
    Philatelic Bureau - Sri Lanka Official
  6. මුද්දර වෙළඳුන්ගෙන් මුද්දර මිලදී ගත හැකියි... (අප රටේ ප්‍රධාන පාසල් ගණනාවක් අසළ පාසැල් අවසන් වන වේලාවට මෙවැනි මුද්දර වෙළඳුන් දැක ගත හැකියි... අවශ්‍ය නම් මුද්දර කාර්යාංශයෙන් ද මෙවැනි මුද්දර වෙළඳුන් ගැන තොරතුරු ලබා ගත හැකියි... මා සතුවද එවැනි කිහිප දෙනෙකුගේ ලිපිනයන් සහ දුරකතන අංක ඇත. අවශ්‍ය අයෙක් වේ නම් විද්යුත් ලිපියකින් විමසන්න.. sansarasidu@gmail.com)
  7. අන්තර්ජාලය හරහා ද මුද්දර මිලදී ගත හැකියි... (උදා: eBay, Delcampe)

පළමු ක්‍රම තුන මගින් අපට ප්‍රමාණවත් තරම් මුද්දර එකතු කර ගත නොහැකි නම් ඊළඟට ඇත්තේ යම් මුදලක් වැය කිරිමට සිදුවන ක්‍රම වීම වැළැක්විය නොහැකිය.

එහෙත් මෙහිදී ඔබට යම් යම් කාරණා කිහිපයක් මතක් කර දෙන්නට කැමැත්තෙමි. 

ඔබ තෝරාගෙන ඇත්තේ තම උපන් බිමේ අවලංගු නොකළ මුද්දර, සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර එකතු කිරීමට නම් පළමුව පසුගිය අවුරුදු 3 ක හෝ 4 ක අයිතම පිළිබඳව සැලකිලිමත් වන්න. මේවා ඉතා පහසුවෙන් මුහුණත වටිනාකමට ම (Face Value) මුද්දර කාර්යාංශයෙන් හෝ එහි ප්‍රාදේශිය ශාඛාවන්ගෙන් හෝ ලබා ගත හැකි ය. උදාහරණයක් වශයෙන් ගත හොත් ඔබට අද වන විට තවමත් 2014 වර්ෂයට අදාළ අයිතම (තොග වල තත්ත්වය මත) මුද්දර කාර්යාංශයෙන් මිල දී ගත හැකිය. නමුත් 2013 හෝ ඊට පෙර වර්ෂවල අයිතම, තොග පැවතිය ද විකිණීම අත්හිටුවා අැති බැවින් මිල දී ගත නොහැකිය.

මෙසේ පසුගිය වසර කිහිපයේ අයිතම රැස්කර ගත් පසුව, ඔබට ටිකෙන් ටික ආපස්සට යමින් ඔබේ එකතුවට පෙර වසර වල අයිතම එක් කර ගත හැකිය. එහෙත් එහිදී ඔබ මුහුණ පාන අනෙක් ගැටළුවක් තිබේ. ඒ මුද්දර කාර්යාංශයෙන් විකිණීම නවත්වා ඇති අයිතම ලබා ගැනීම පිළිබඳවයි. 
මේ සඳහා ඔබට මුද්දර වෙළෙඳුන්ගේ හෝ පෞද්ගලික මුද්දර එකතු කරන්නන්ගේ සහය ලබා ගැනීමට සිදු වීම වැළැක්විය නොහැකිය. මන් ද ඔවුන් මේවා තොග වශයෙන් හෝ සීමිත ප්‍රමාණ වලින් තම සන්තකයේ තබා ගෙන සිටින බැවිනි.     

මුද්දර වෙළෙඳුන් හෝ පුද්ගලික මුද්දර එකතු කරන්නන් හමු විය හැකි ලෙහෙසිම මාර්ගය නම් මුද්දර කාර්යාංශය සංවිධානය කරන මුද්දර සල්පිළ් සඳහා සහභාගි වීමය. මේවා බොහෝවිට කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත් වේ. මේ වසර තුළ පැවැත්වීමට නියම්ත මීළඟ මුද්දර පොළ සඳහා මේ වන විට ද මුද්දර කාර්යාංශය මගින් දින නියම කර තිබේ.



මුද්දර කාර්යාංශය හැරෙන්නට ශ්‍රී ලංකා නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමයත් (SLIPA - SRI LANKA INDEPENDENT PHILATELIST'S  ASSOCIATION) , පෞද්ගලික මුද්දර එකතු කරන්නන්
 කිහිප දෙනෙක් විසින් හවුල් වීමෙන් ද මෙසේ මුද්දර සල්පිල් සංවිධානය කරනු ලබයි. මෙම සල්පිළ් බොහෝ විට කොළඹ, මහජන පුස්තකාල ප්‍රදර්ශන ශාලාවේදි පැවැත් වේ. 
මෙවැනි මුද්දර සල්පිල් පිළිබඳ තොරතුරු කලින් කලට මුහුණුපො‍තේ අප විසින් පවත්වාගෙන යන මිතුරු හවල් පිටුවල (Facebook Group Page) පළ වේ. අප සමඟ එක් වීමෙන් ඔබට ද ඒ පිළිබඳව දැනුවත් විය හැකිය.

e Philatelists | මුද්දර ලෝලියෝ 



මා ඔබට ලබාදෙන උපදෙස නම් පළමුව මුද්දර මිල දි ගැනීම සඳහා නොව යම් දැනුමක් ලබා ගැනිම සඳහා මේවාට සහභාගී වන ලෙසය. එමගින් විවිධ වෙළෙඳුන් දැන හඳුනා ගැනීමටත්, ඔවුන් එකිනෙකා එකම අයිතමය සපයනු ලබන විවිධ මිල ගණන් පිළිබඳවත් ඔබට වැටහීමක් ලබා ගත හැකි වන අතර ඔබ දුක් මහන්සියෙන් උපයාගත් මුදල් නිකරුණේ පූජා නොකර අවම සහ සාධාරණ මුදලකට ඒවා මිලදී ගන්නටත් ඔබට හැකි වනු ඇත. 

මුද්දර වෙළෙඳපොළේ මුද්දර මිල ගණන් තීරණය වනුයේ ඉල්ලුම සහ සැපයුම අනුවය. එසේත් නැතිනම් Stanley Gibbons හෝ Scott මුද්දර නාමාවලී ඒවාට ලබා දී ඇති වටිනාකම් අනුව ය. ඒ හැරෙන්නට අයිතම වල තත්ත්වය (Condition) අනුව ද මේවායේ මිල ගණන් එහා මෙහා වීම සිදු වේ. 

ඒ කෙසේ වුවද ඇතැම් මුද්දර වෙළෙඳුන් හා පුද්ගලික එකතු කරන්නන් තම හිතු මතයේ අයිතම අළෙවි කරන තත්ත්වයන් ද දැක ගත හැකි බැවින් මේවායෙන් ප්‍රවේශම් වීමට නම් ඔබ අනිවාර්යයෙන්ම තමන්ට අවශ්‍ය කරන අයිතම පිළිබඳව මනා ලෙස දැනුවත් ව සිටිම අවශ්‍ය වේ. එය ඔබ මේ විනෝදාංශය කෙරෙහි දක්වන උනන්දුව මත තීරණය වන්නකි. 
අන්තර්ජාලය හරහා මුද්දර මිල දී ගැනීමේදි ද මේ දැනුවත්භාවය අත්‍යන්තයෙන්ම වැදගත් වේ. මුද්දර සඳහා ඔබ ගෙවන මුදල සාධාරණීකරණය වනුයේ එමගිනි. 


ඔබේ එකතුව වර්ධනය කර ගැනීමට ඔබට එක්කෝ "කාලය" තිබිය යුතු ය. නැත්නම් "යහමින් මුදල් හදල්" 
තිබිය යුතු ය.

ඔබේ අවශ්‍යතාවය ඉතා ඉක්මනින් ඉතා විශාල මුද්දර එකතුවක් ගොඩ නගා ගැනීම නම් ඒ සඳහා ඔබ ඉතා විශාල ආදායමක් ලබන ධනපතියෙකු විය යුතු ය. නොඑසේ නම් ඉතා සෙමින් ගමනක් යමින් ඔබේ මුද්දර එකතුව වර්ධනය කර ගැනීමේ අවස්ථාව ද ඔබට හිමි ය. මෙම අන්ත දෙක අතර තුලනය මුද්දර එකතු කරන්නෙකු වශයෙන් ඔබගේ ඉදිරි ගමන තීරණය කරනු ඇත. 


3 comments:

කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි) said...

මමත් මුද්ර එකතුකරන්නෙක් පැරණි හා අළුත් මුද්දර එකතුවක් තිබෙනවා හොද ලිපියක්.

Anonymous said...

any party who's willing to read the first paragraph
How to find stamps ???
Good question!

In a recent article, we asked about a stamp and a good stamp collection. You can remember how we talked about how to use the stamp called "STAMP" to help you remember it.

sansarasidu said...

@ කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)

තවත් සහෝදර මුද්දර එකතු කරන්නෙක් දැන හඳුනා ගැනීමට ලැබීම සතුටක්. ස්තූතියි කමෙන්ටුවටත් !

Post a Comment