Pages

මුද්දර ලෝලියෙකුගේ අන්තර්ජාල සටහන …

අතිශයින්ම මුද්දර ලෝලීන් සඳහා පමණයි !

Tuesday, January 4, 2011

මුද්දරය | Stamp


Image : Universal Postal Union (UPU)


"මුද්දරය|Stamp" යන වදන ඇතමෙකුට ඒ තරම් හැඟීමක් ඇති කරන එකක් නොවන බවට සැකයක් නැහැ.
ඒත් මුද්දර ලෝලියෙකුට නම් මුද්දරයක් යනු අමිල වස්තුවක් !
දැනුම, විනෝදය මෙන්ම සතුට ගෙනෙන උල්පතක් !
මෙවැනි මුද්දර එකින් එක එකතු වෙලා ගොඩ නැඟෙන මුද්දර එකතුවක් කියන්නේ සිතට අමුතුම ආකාරයේ නිරාමිස සුවයක් එක් කරන අපූරූ වත්කමක් !

ඉතින් කොහොමද හොඳ මුද්දර එකතුවක් ගොඩ නඟා ගන්නේ ?

ඉඳින් මා මෙලෙස සුදානම් වෙන්නේ හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගන්නට ඔබට අත්වැලක් වෙන්නයි...

හොඳ මුද්දර එකතුවක් ගොඩ නඟා ගන්න නම් අපට කරුණු කිහිපයක් සම්පූර්ණ කරගැනීමට සිදු වෙනවා. මේ කරුණු ටික මතක තියා ගන්න පහසු වෙන්නත් එක්ක එක වචනයකට ගොනු කර ගන්නත් පුළුවන්... ඒ වචනය තමා STAMP කියන එක. හොඳයි එහෙමනම් පොඩ්ඩක් උත්සාහ කරල බලන්න මේ කරුණු ටික ඔයාලටත් මතක තියා ගන්න පුළුවන් ද කියල...

මුද්දරය එහෙම නැත්නම් STAMP කියන වචනය හැදෙන පළවෙනි අකුර අරගනිමු. මොකක්ද මේ අකුරට ගොනු කරල තියෙන කරුණ.... මුද්දර එකතුවක් ගොඩනඟා ගැනීමට අපේක්ෂා කරනවා නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේ මොනව ද ?
ඔය S අකුර ගැන හිත යොමු කරල බලන්න.... ඔබ හිතුවා හරි...

S >>> Stamps


හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගන්නෙ කොහොමද මුද්දර නැතිව... හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගන්නට නම් අනිවාර්යයෙන්ම අපට හැකි උපරිමයෙන් මුද්දර රැස් කරගන්නට සිදු වෙනවා... ඉතින් කොහොමද මුද්දර හොයා ගන්නේ... මොන වගේ මුද්දරද අපේ එකතුවට එක් කර ගන්න ඕනෑ කියන කාරණය මම පසුව වෙනම ලිපියකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.



දෙවැනි අකුර තමා T. මොකක්ද මින් කියැවෙන්නේ.... Time කියන එක ද ? එක අතකින් බැලුවහම මුද්දර විනෝදාංශය සඳහා අපට කාලය අවශ්‍ය වෙන බව ඇත්තයි. ඒත් මේ අකුරට ගොනු කරල තියෙන්නෙ වෙනත් කරුණක්.

T >>> Tools 



හොඳ මුද්දර එකතුවක් ගොඩ නඟා ගන්නට අවශ්‍ය නම් අපට, මුද්දර එකතු කිරීමේදි Tools නැත්නම් උපකරණ කිහිපයක් ම භාවිතා කරන්නට සිදුවෙනවා.

  • මුද්දර අඬුවක්  - Stamp tongs | Stamp Tweezers 
  • විශාලන කාචයක් - Magnifying Glass
සාමාන්‍ය / ආධුනික මුද්දර එකතු කරන්නෙක් සඳහා නම් ඔය උපකරණ ද්විත්වය වුවත් ප්‍රමාණවත්. නමුත් තරමක් පරිණත මුද්දර එකතු කරන්නෙක් සඳහා නම්  ඔතැනින් මදක් ඔබ්බට ගිය තවත් උපකරණ කිහිපයක් අවශ්‍ය වනු ඇති. 
  • විදමන් ආමානයක් - Perforation Gauge
  • වර්ණ දර්ශකයක් - Stamp Colour Key / Colour Guide
  • දියසළකුණු දර්ශකයක් - Watermark Detector  
මීට අමතරව අප ජීවත් වන ඩිජිටල් යුගයට සරිලන අන්දමට මුද්දර පිළිබඳ සටහන් තබා ගැනීමට හෝ මුද්දර කළමනාකරණය පහසු කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් ම නිපැයුණු පරිගණක මෘදුකාංග (Stamp Management Software) හෝ ස්මාර්ට් ජංගම දුරකථන සඳහා වන යෙදවුම් (Smart Phone Application)  ද ‍මේ යටතට වැටෙනවා.  







ඊළඟ අකුර තමා A... මොකක්ද මෙයින් කියැවෙන්නේ.... අපහසුවකින් තොරවම ඒ ගැන ඉඟියක් පළ කරන්නට ඔබටත් හැකි වනවාට සැකයක් නැත..

A >>> Album



[Adaptable වෙළඳ නාමය යටතේ එන Lose-leaf වර්ගයේ මුද්දර සුරැකුම් පොතක් ]


ඔබ විසින් විවිධ ක්‍රම ඔස්සේ එක් රැස් කර ගන්නා මුද්දර, ක්‍රමවත්ව සුරැකිව තබා ගන්නට නම් ඒ සඳහාම විශේෂයෙන් සැකසු මුද්දර සුරැකුම් පොතක් අවශ්‍ය වෙනවා... අද වන විට විවිධ ආකාරයේ මුද්දර සුරැකුම් පොත් වෙළඳපොළ ආක්‍රමණය කොට තිබෙනවා. ගම් පතුරු හෙවත් මුද්දර රඳවන ආධාරයෙන් මුද්දර රඳවා තබන මුද්දර පොත් (මේවායේ ප්‍රස්ථාර කොළවල මෙන් කුඩා කොටු අවපැහැයෙන් මුද්‍රණය කර තිබෙනු දැක ගත හැකිය) මෙන්ම අවශ්‍ය පරිදි අවශ්‍ය ප්‍රමාණයට පත්‍රිකා එකතු කර ගත හැකි loose leaf වර්ගයේ ඇල්බමයන් ද ඒ අතර තියෙනවා. මේවායින් තමන්ට ගැලපෙන මුද්දර පොතක් තෝරා ගැනීමට ඔබ කල්පනාකාරී විය යුතුයි.. ලංකාව තුළ මුද්දර සුරැකුම් පොත් (Stamp Album) කියා විකුණන බොහොමයක් ඒවා සැබවින්ම මුද්දර සුරැකුම් පොත් නොව මුද්දර රැඳවුම් (Stock Book) පොත් බව පසුගිය දිනවල ඒ පිළිබඳව විශේෂයෙන් සොයා බලද්දි මට දැක ගන්නට ලැබුණි. ඝන කාඩ්බෝඩ් පිටු මැදින් හරහට යෙදු විනිවිද පෙනෙන තෙල් කඩදාසි හෝ සෙලෝෆේන් තීරූ තුළ මුද්දර පහසුවෙන් රඳවා තැබිය හැකි මෙම Stock Book වඩා සුදුසු වන්නේ මුද්දර විශේෂඥයන් හා මුද්දර වෙළෙඳුන්ටයි. එසේම සුරැකුම් පොතක මුද්දරයට නියමිත ස්ථානය ලබා දෙන තුරු එම මුද්දර රඳවා තබන්නටත් මේවා කදිම ය. විවිධ මුද්දර ඇල්බම පිළිබඳවත් ඒවායේ වාසිදායක තත්වයන් සහ අවාසිදායක තත්වයන් ගැන පසුව සවිස්තරාත්මකව සාක්ච්ඡා කෙරෙනු ඇත...



හතරවැනි අකුර M ය. නිසැකවම M වලින් අදහස් වන්නේ මුදල් යැයි ඔබට සිතෙන්නට පුළුවන. එක් අතකින් එසේ සිතීමේ වරදක් නැත. හොඳ මුද්දර එකතු කරන්නෙකු වීමට නම් ඔබට යම් පමණකට මුදල් වියදම් කරන්නට සිදුවීම වැළැක්විය නොහැකි ය. විශේෂයෙන් ම මුද්දර, මුද්දර ආහ්‍රිත ද්‍රව්‍ය මෙන්ම මුද්දර එකතු කිරීමේදි අවශ්‍ය වන ආම්පන්න මිලදී ගැනිමට මුදල් අවශ්‍ය වනු ඇත. එහෙත් මෙහිදි M යන්නෙන් අදහස් වන්නේ Money නොව අනෙකකි.

M >>> Mounts and Hingers


මෙයින් අදහස් වන්නේ මුද්දර රඳවා තබන තීරු රැඳවුම් හා ගම් පතුරු ය. මෙසේ තීරු රැඳවුම් තුළ මුද්දර තැන්පත් කොට තැබීම දැනට වසර කිහිපයක සිට ජනප්‍රියව පවතින්නේ, මෙම රාමුව තුළ මුද්දර හොඳින් ආරක්ෂා වී පැවතීමත් කලු පැහැති පසුබිම නිසා මුද්දර වඩා හොඳින් කැපි පෙනීමත් නිසාය. රැඳවුම් රාමුවේ මතුපිට විනිවිද පෙනෙන තුනී පොලියෙස්ටර් පටලයකින් සමන්විත වන අතර පසුපස තීරුව කළු පැහැ පොලියෙස්ටර් තීරුවකින් සමන්විතය.


[මුද්දර ඇතුල් කළ යුතු ආකාරය අනුව මෙන්ම පසුබිම් වර්ණය කළු හෝ අවර්ණ වශයෙන් ද Mounts වර්ග කිහිපයකින් ලබා ගත හැකිය.]


[විවිධ වෙළඳනාම යටතේ එන ගම්පතුරු]


ගම් පතුරු නැතිනම් මුද්දර රඳවන (Hingers) මගින් මුද්දර සුරැකුම් පොතේ රඳවා තැබීම අනාදිමත් කාලයක සිටි මුද්දර එකතු කරන්නන් අතර ජනප්‍රියව පැවති ක්‍රමයයි. මෙහිදී මුද්දර රැඳවීම සඳහා භාවිතා කෙරෙන්නෙ එක් පසෙක වියළි මැලියම් තට්ටුවක් ආලේප කර ඇති කුඩා දිගැටි හැඩයේ තෙල් කඩදාසිවලින් සකසා ගත් පතුරු වර්ගයකි.



අවසාන අකුර වන්නේ P ය. මින් අදහස් කරනුයේ මුද්දර පිළිබඳ තොරතුරු ඇතුලත් පත පොත යනාදිය ය.

P >>> Publications


[එක්සත් ජනපදයේ පළවන Scott මුද්දර නාමාවලිය, මහා බ්‍රිතාන්‍යෙයේ පළවන Stanley Gibbons මුද්දර නාමාවලිය සහ Stanley Gibbons ප්‍රකාශනයක්]

මුද්දර පිළිබඳ අනගි තොරතුරු ලබාදෙන මුද්දර නාමාවලි (Stamp Catalog), වාර සඟරා මෙන්ම විවිධ පත පොත ද මේ යටතට ගැනේ. මුද්දර ගැන හොඳ දැනුමක් නොමැතිව හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගත නොහැකිය. එබැවින් මෙවැනි මුද්දර ආශ්‍රිත ප්‍රකාශන පරිහරණයට පුරුදු පුහුණු වීම ද හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගැනීම සඳහා අතිශයන් ම වැදගත් වේ.

දැනට මේ කරුණු ටික සිහියේ තබා ගැනීම ප්‍රමාණවත්... ඉදිරියේදී අපි ඒ ගැන වැඩි දුරටත් සාකච්ඡා කරමු..

4 comments:

හා පැටික්කි (MS) said...

‍ගොඩක් ‍හොඳ ලිපියක් අයියා......
දැන් හි‍තෙනවා ඒ කා‍ලේ එකතු කලා නම් කියලා. ඒත් ඉතින් අයියා‍ගේ අණසක අනුව මට මුද්දර ඇල්ලීමත් ඒ කා‍ලේ තහනම්. එයාට ඉතරයි එකතු කරන්න පුළුවන්. එක ‍ගෙදරක එ‍හෙම ‍වෙන එක සාධාරණයිත් කියලා හි‍තෙනවා.
ඒත් අන්තිමට එයා එකතු කර මුද්ද‍රේකුත් නෑ මට එකතු කරන්නත් නෑ.......

ඒත් දැනටත් මම මුද්දර එකතු කරලා නංගි‍යෙක්ට ‍දෙනවා. එයාගේ ‍හොඳ එකතුවක් තියනවා.

sansarasidu said...

@ හා පැටික්කි (MS),

ස්තුතියි නංගියෝ...

හ්ම්ම්... ඒකත් එහෙම ද ? ඒත් නගේ මුද්දර එකතු කරන අය තුළ ගොඩනැගෙන්න ඕන පුරුද්දක් තමා බෙදාහදා ගැනීම... තමන් ගාව වැඩිපුර තියෙන මුද්දර, තමන් ගාව නැති මුද්දර වලට හුවමාරු කර ගැනීම... ඒ වගේම මුද්දර එකතු කරන්න කැමති අනෙක් අයටත් තමන් දන්න දේ කියා දෙමින් ඔවුන් ඒ සඳහා පෙළඹවීම....

ඒක හොඳයි මගෙ නංගියේ...
මං දන්න ටික මං ඔයාලට කියල දෙන්නම්... එතකොට හා නගාට ඇහැකි නෙව ඒ නගාටත් කරුණු කාරණා කියල දෙන්න...

හැබැයි ගේට්ස් අයියට එහෙම මේවා කියල දෙන්න යනව නෙවෙයි ඕං...

muthunayake@gmail.com said...

මාගාව තියෙනව 1914 විතර ගහපු සුද්දන්ගේ මුද්දර ඒවා වටිනවද?

sansarasidu said...

@ Muthunayake,

යම් මුද්දරයක වර්තමාන වටිනාකම තීරණය වෙන්නේ ඒ මුද්දරයට ඇති වෙළඳපොළ ඉල්ලුම සහ සැපයුම මතයි... ඒ වගේම මුද්දරයේ තත්වයත් (Condition) මේ අගය අඩු වැඩි වීමට බලපානවා... සාමානයයෙන් තැපැල් කටයුතු සඳහා භාවිතා නොකළ මුද්දරයක්(Mint), තැපැල් කටයුතු සඳහා භාවිතා කළ මුද්දරයකට (Used) වඩා වැඩි වටිනාකමක් සහිතව අළෙවි වෙනවා...

ඔබ අදහස් කරන්නේ බ්‍රිතාන්‍යයන් අපේ රට පාලනය කළ සමයේ නිකුත් කළ "CEYLON" මුද්දර ගැන විය යුතුයැයි සිතනවා..

ඇතැම්විට ඔබත් දන්නා පරිදි ලෝකයේ මුල්ම මුද්දරය නිකුත් වුණේ වර්ෂ 1840 මහ බ්‍රිතාන්‍යයේදි... නමුත් ලංකාවේ පළමු මුද්දරය නිකුත් වෙන්නේ ඉන් වසර 17 කට පසුව 1857 දී... සාමාන්‍යයෙන් මේ ප්‍රථම මුද්දර නිකුත් කිරීමෙන් පසු ගත වූ පළමු වසර 100 තුළ නිකුත් කරන ලද මුද්දර සඳහා මුද්දර එකතු කරන්නන් තුළ ගෞරවාන්විත පිළිගැනීමක් සහ විශාල ඉල්ලුමක් තියෙනවා... දේශිය වශයෙන් වගේම විදේශීය වශයෙනුත්....

ඔබේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් ලබා ගන්නට පෙර ඔබ ළඟ ඇති මුද්දර නිවැරදිව හඳුනා ගන්නට වෙනවා.. ඉන් පසුවයි ඒවාට ඇති වෙළඳපළ වටිනාකම තීරණය කළ හැක්කේ... සාමාන්‍යයෙන් මෙම අගය ගැන දළ අදහසක් ලබා ගන්නට පුළුවන් මේ ලිපියේ පහළම සේයාරුවෙන් දැක්වෙන STANLEY GIBBONS සමාගමේ Commonwealth මුද්දර නාමාවලිය භාවිතයෙන්... (මේ සඳහා අවශ්‍ය නම් ඇමෙරිකා එක්සත් ජනපදයේ පළවන "Scott" මුද්දර නාමාවලිය වුවද යොදා ගත හැකියි)

Post a Comment