Pages

මුද්දර ලෝලියෙකුගේ අන්තර්ජාල සටහන …

අතිශයින්ම මුද්දර ලෝලීන් සඳහා පමණයි !

Saturday, October 29, 2011

සන්සරසිදු වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් වෙයි ???



“මෙන්න විශේෂ ප්‍රවෘත්තියක් !!!

ආවෝ ගියෝ බ්ලොග් කලාවේ පුරෝගාමියෙකු වශයෙන් සැලකෙන සන්සරසිදු මහතා වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීමේ අවස්ථාවක් අද එනම් 2011/10/29 දා කොළඹ තැපැල් මූලස්ථානයෙන් වාර්තා වුණා... පුරා තෙදිනක් තිස්සේ තැපැල් මූල්ස්ථාන පරිශ්‍රයේ දි පැවැත්වෙමින් තිබෙන වසරේ දැවැන්තම මුද්දර ප්‍රදර්ශනය හා සල්පිල වන "ලංකා ෆිලෙක්ස් 2011" ප්‍රදර්ශනයේ දෙවැනි දිනයේ දි සිදු කෙරුණ මෙම විශේෂ සමරු නිකුත් කිරීම ප්‍රදර්ශනයේ අනෙකුත් අංග අතරින් වඩාත් කැපී පෙනෙන සිදු වීමක් වූ බව සැලයි...

රුපියල් 5 ක වටිනාකමකින් යුතුව සන්සරසිදු මහතාගේ ආලේඛ්‍ය සිතුවකමකින් සැරසුණු මෙම විශේෂ සමරු මුද්දරය, අංකුර මුද්දර නිර්මාණ ශිල්පියෙකු වන ඉසුරු චතුරංග පොත්පිටියගේ අතින් නිමැවී තිබුණා.... පත්‍රිකාවකට මුද්දර 6 බැගින් වන මුද්දර පත්‍රිකා 2 ක් පමණක් මෙම විශේෂ නිකුත් කිරීමට අයත් වූ බව මුද්දර කාර්යාංශ ආරංචි මාර්ග වැඩ්දුරටත් සඳහන් කළා....”



තරමක අතිශයොක්තියෙන් කියැවුණත් එම ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක් නම් නොවෙයි...


2011 වසරේ පැවැත්වෙන, දැවැන්තම මුද්දර ප්‍රදර්ශනය හා සල්පිල, "ලංකා ෆිලෙක්ස් 2011" නමින් පසුගිය 28 වෙනිදා කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වුණේ ශ්‍රී ලංකා මුද්දර එකතුකරන්නන්ගේ සංගමයේ සංවිධානයෙන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ සාදර අනුග්‍රහයෙන්.... මෙහි විශේෂත්වය වූයේ ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රදර්ශනයේ ආරම්භක දිනයේ දීම පැරණි මෝටර් රථ 04 ක් යොදා ගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ, මුද්දර කාර්යාංශය මගින් රු 5/- ක වටිනාකමකින් යුතු නව තැපැල් මුද්දර 04 ක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබීමයි.... ඊට අදාළ මුල්දින කවරය ද එදිනම ගරු විෂය භාර අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේදීම නිකුත් කරන්නට යෙදිණ... (මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ලිපියක් පසුව පළවනු ඇත.)

එසේ ම 33 වෙනි විය සපුරන ශ්‍රි ලංකා මුද්දර එකතු කරන්නන්ගේ සංගමය ද, ඒ වෙනුවෙන් විශේෂ සමරු කවරයක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබුණා... (මෙම සමරු කවර නිකුතුව කවර 330 කට පමණක් සීමා කර තිබීම විශේෂයෙන්ම කැපී පෙනෙන සිදු වීමකි.)

විශේෂයෙන් මෙවැනි අවස්ථා අත්නොහරින හෙයින් මම ද ඉතා උද්යෝගයෙන් යුතු ව ඒ සඳහා සහභාගී වූයෙමි...මෙහිදි පෞද්ගලික මුද්දර එකතු කරන්නන් රැසකුත් මුද්දර අළෙවිකරුවන් රැසකුත් දැන හඳුනාගන්නට ලැබීම විශේෂයන් සිහිපත් කරන්නට කැමැත්තෙමි. මෙවැනි දැන හැඳුනුම්කම් මුද්දර එකතු කරන්නන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් ය... ප්‍රදර්ශනයේ පළමු දිනයෙන් පමණක් නොනැවතී විශේෂයෙන් ම දෙවැනි දිනයේදීත් ඊට සහභාගී වීමට මා පොළඹවනු ලැබුවේ එහි වැඩසටහන් පෙළගැස්මයි... මහජනතාවට මුද්දර මිලදී ගැනීමට වගේම මුද්දර විනෝදාංශය ගැන දැනුවත් වීමටත් මෙහිදි අවස්ථාව සලසා තිබුණා... විශේෂයෙන් වියත් දේශන, මුද්දර වෙන්දේසි ආදිය ද සංවිධානය කරන්නට සංවිධායකයන් කටයුතු කර තිබීම කාගෙත් පැසසුමට ලක් වූ බව සඳහන් කළ යුතුයි...

ශ්‍රී ලංකා මුද්දර එකතු කරන්නන්ගේ සංගමයත්, තැපැල් දෙපාර්තමේන්තුවත් එකට එක්ව පවත්වන්නට යෙදුන මෙම ප්‍රදර්ශනයේදි මුද්දර කාර්යාංශයද සිය සුපුරුදු සේවාවන් දියත් කර තිබෙනු දැක ගත හැකි වුණා... වෙනදා සතියේ දින වලදී පමණක් විවෘතව තබන ජාතික තැපැල් කෞතුකාගාරය හා මුද්දර ප්‍රදර්ශනාගාරය මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන තෙදින පුරාම විවෘතව තැබීමට ඔවුන් පියවර ගෙන තිබුණා.... එසේම මුද්දර කාර්යාංශයෙන් සැපයෙන විශේෂිත සේවයක් වන පුද්ගල රුචිකත්වය අනුව විනාඩි 5 කටත් අඩු කාලයකදි රුපියල් 500/- වැනි මුදලකට තමන්ගේම මුද්දර 6 ක් අඩංගු භාවිතය සඳහා වලංගු මුද්දර පත්‍රිකාවක් නිර්මාණය කර ගැනීමේ පහසුකම මෙවරද සලසා තිබුණා...

සන්සරසිදු වෙනුවෙන් වන සමරු මුද්දරය බිහි වන්නේ ඒ අනුවය..... :D

අංකුර මුද්දර නිර්මාණ ශිල්පී ඉසුරු චතුරංග මිතුරා අතින් එවෙලේම නිමැවෙන සන්සරසිදුගේ ආලේඛ්‍ය චිත්‍රයක් මෙසේ මුද්දරයක් බවට පත්වන්නේ මුද්දර කාර්යාංශ විශේෂ කවුළුවේදි ය....

අවශ්‍ය නම් එවේලේ ම ගන්නා ලද ක්ෂණික ඡායාරූපයක් යොදාගනිමින් මෙවැනි පුද්ගල රුචිකත්වයට සරිලන පරිද්දෙන් මුද්දර නිර්මාණය කර ගැනීමේ හැකියාව ඇතත්, උඩුගං බලා පිහිනන්නට නිතරම වාගේ මා මෙහෙයවන මගේ සිතට අවනත වෙන්නට මට සිදු විය... මගේ හා ඉසුරුගෙ මුණගැසීම ද අරුමයකි... මගේ ආලේඛ්‍ය චිත්‍රයක් ඇඳ දෙන්නට ඔහු දැක්වූ කැමැත්ත ඊටත් වඩා වැඩි අරුමයකි.... අවසානයේ ඔහු සිය ප්‍රතිභාවට දෙස් දෙන්නට මෙන් මගේ සිත පහන් කරමින් අපූරු ආලේඛ්‍ය චිත්‍රයක් මා අත තැබීය... අඩහෝරාවක් තිස්සේ එකම ඉරියව්වකින් සිටින්නට සිදුවීමේ අපහසුව කොහෙන් ගියාද නැත... මගේ සිතට කවර කලෙකවත් නොආ අන්දමේ අමන්දානන්දයක් දැනිණ... ඉන්පසු මුද්දර කාර්යාංශ කවුළුවේදි පරිගණකයට ඇතුල් කරගත් එම ආලේඛ්‍ය චිත්‍රය ප්‍රින්ටරයෙන් පිටතට ආවේ ඒ අමන්දානන්දය දෙගුණ තෙගුණ කරමිනි....


අඩහෝරාවක් තිස්සේ නොසෙල්වි සිටින්නට ලද දඬුවම


පැන්සල් තුඩට ඉසිඹුලන්නට අවසරයක් නැත


ආලේඛ්‍ය සිතුවමට පණ දෙන ඉසුරු



ස්කෑනරයෙන් ප්‍රින්ටරයට


නැගී එන මුද්දර නිර්මාණ ශිල්පියෙකු වන ඉසුරු ප්‍රතිභාපූර්ණ තරුණයෙකි. 2011/10/14 දින නිකුත් කරන්නට යෙදුණ ඩඩ්ලි සේනානායක ජන්ම ශත සංවත්සර මුද්දරය ඔහුගේ මංගල මුද්දර නිර්මාණයයි.... පැහැබර අනාගතයකට හිමිකම් කියන ඔහු ගැන කියන්නට වෙනම ලිපියක් ලියන්නට අවැසි වෙයි... එහෙත් තවම ඊට කල් වැඩිය... එහෙයින් ක්ෂේත්‍රය තුළ තවත් ටික දුරක් යන්නට, ඔහුට ඉඩ හරිමි... එතෙක් ඔහුටත්, වෙසෙසින් ම අපට නන් අයුරින් සහය වූ ජාතික තැපැල් කෞතුකාගාරයේ අකිල සම්පත් මහතාටත් අපගේ නොවක් ස්තූතිය පිරිනමන්නට මෙය අවස්ථාවක් කර ගනිමි...

30 වැනි දා ප්‍රදර්ශනයේ අවසාන දිනයයි...

දිනයට නියමිත වැඩසටහන් පෙළගැස්ම ….

උදෑසන 9.00 - ප්‍රදර්ශනයේ ආරම්භය

පෙ.ව. 11.00 සිට 12.00 – දේශනය ( තේමානූකුලව මුද්දර එකතු කිරීම )

ප. ව. 3.30 – ත්‍යාග ප්‍රදානෝත්සවය ( ප්‍රදර්ශනය වෙනුවෙන් පවත්වන ලද මුද්දර ප්‍රදර්ශක තරඟාවලියේ)

ප. ව. 7.00 – ප්‍රදර්ශනයේ නිමාව...


>>> Coming Up Next >>>
ලංකා ෆිලෙක්ස් 2011 - පසුවිපරම

4 comments:

Buddhi said...

මේ සයිබර් යායට එන සන්සරසිඳු නේද? සතුටුයි සතුටුයි. එංගලන්තෙ මේ ක්‍රෙමේ ජයටම යනවා නේද? මං හිතන්නෙ දැං එහෙ තියෙන්නෙ ඔන්ලයින් මුද්දර ක්‍රමයක්.... පුලුවන්නම් ඇත්ත නැත්ත හොයලා ලියන්න...

දුකා said...

අහ් එල එල සනා මලයා . .

නියමයි . . .

අපිට එහෙනම් පෝස්ට් කාඩ් එකක් වත් එවපන් උඹේ මුද්දරේ ගහලා . . .

Hasitha Gunasinghe said...

මොකද මේ බ්ලොග් එක ඇණ හිටලා අයියා ???

sansarasidu said...

ආයෙම ලියන්න ඕන කියල හිත හිතා ඉන්නවා මිසක් ලියන්න හිතේ එකළාසයක් තිබුණේ නැහැ මල්ලි....

ස්තූතියි මේ පැත්තට ගොඩවෙලා ගියාට...

Post a Comment